Skip to content
ඔබ දැනගත යුතු වැදගත් කරණු………
ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූලව පිළිගත් වෛද්‍ය ක්ෂේත්‍ර 03 ක් හා එම එක් එක් වෛද්‍ය ක්ෂේත්‍රයට අයත් වෛද්‍යවරුන්ද වේ. එනම්,
-
බටහිර වෛද්‍ය ක්ෂේත්‍රය
-
ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය
-
හෝමියෝපති වෛද්‍ය ක්ෂේත්‍රය
එම වෛද්‍ය ක්ෂේත්‍ර වලට අදාළව වෛද්‍ය සභා 03ක් පවතින අතර එම වෛද්‍යවරුන් අදාළ වෛද්‍ය සභාවේ ලියාපදිංචි වී සිටිය යුතුයි. (මෙහිදී සිද්ධ, යුනානි හා පාරම්පරික වෛද්‍යවරුන්ද ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයට අයත් ආයුර්වේද වෛද්‍ය සභාවේම ලියාපදිංචි වේ. ) ශ්‍රී ලංකාව තුල ප්‍රතිකාර කිරීමට නීත්‍යානුකූල බලය ඇත්තේ අදාළ වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලැබූ වෛද්‍යවරුන්ට පමණි.
මේ අනුව ඔබ ප්‍රතිකාර ලබා ගන්නා ආයුර්වේද හෝ දේශීය වෛද්‍යවරයාද සුදුසුකම් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයකු විය යුතු වේ.
ශ්‍රී ලංකාවේ ආයුර්වේද හා දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට අයත් වෛද්‍යවරුන් පහත පරිදි ඔබට හදුනාගත හැක.
පාරම්පරික වෛද්‍යවරුන්–
තම පරම්පරාවේ වෛද්‍ය දැනුම හා අත්දැකීම් අනුව ප්‍රතිකාර කරයි. මෙම වෛද්‍යවරුන්ද සර්වාංග හා විශේෂ ලෙස දෙවර්ගයකි.
සර්වාංග වෛද්‍යවරුන්–
මුළු ශරීරයේම ලෙඩ සඳහා ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ය.
විශේෂ වෛද්‍යවරුන් –
ශරීරයේ එක් ලෙඩ කාණ්ඩයක් සඳහා පමණක් ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ය. මොවුන්ට එම ලෙඩ කාණ්ඩයට පරිබාහිර වෙනත් ප්‍රතිකාර නීත්‍යානුකූලව කල නොහැක.
උදා: කැඩුම් බිදුම් විශේෂ, චර්ම රෝග විශේෂ, පීනස් රෝග විශේෂ, ගෙඩි වණ විශේෂ
ඩිප්ලෝමාධාරි වෛද්‍යවරුන්–
ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පිලිබඳව ඩිප්ලෝමාවක් හදාරා සර්වාංග රෝග සඳහා
ප්‍රතිකාර කරයි. මෙම පාඨමාලාව සඳහා ඉගැන්වීම් කරන විද්‍යාල ශ්‍රී ලංකාව පුරා ඇත.
උපාධිධාරී වෛද්‍යවරුන්–
ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පිලිබඳව වසර හයක “ආයුර්වේද වෛද්‍යවේදී සහ ශල්‍යවේදී උපාධිය” ( Bachelor of Ayurveda Medicine & Surgery – B.A.M.S.) හදාරා සර්වාංග රෝග සඳහාම ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ය. ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ආයුර්වේද රෝහල්වල සේවය සඳහා බඳවා ගනු ලබන්නේ මෙම උපාධිධාරී වෛද්‍යවරුන් පමණි.
මෙම වෛද්‍ය උපාධිය ශ්‍රී ලංකාවේ දී ලබාගත හැක්කේ උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් ( ජීව විද්‍යාව, රසායන විද්‍යාව හා හෞතික විද්‍යාව) හදාරා අදාළ වර්ෂයට අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබ, කොළඹ හා කැළණිය විශ්වවිද්‍යාල වලින් පමණි. මීට අමතරව ඉන්දියාවේ විශ්වවිද්‍යාල වලද මෙම වෛද්‍ය උපාධිය හැදෑරිය හැකිය.
මෙහිදී ආයුර්වේද වෛද්‍ය විද්‍යාවත්, දේශීය වෛද්‍ය විද්‍යාවත් හා බටහිර වෛද්‍ය විද්‍යාවත් සංසන්දනාත්මකව අධ්‍යනය කරන අතර, මෘත ශරීර විච්ජේදනය, විද්‍යාගාර පරීක්ෂණ, ශික්ෂණ රෝහල් සායනික කටයුතු, ඹෟෂධ නිෂ්පාදනය සහ නීති වෛද්‍ය විද්‍යාව හා සංස්කෘත භාෂාව ආදිය ද හැදෑරිය යුතුය.
විශේෂඥ / විශ්වවිද්‍යාල උපදේශක වෛද්‍යවරුන්–
ආයුර්වේද වෛද්‍යවේදී සහ ශල්‍යවේදී උපාධිය හැදෑරීමෙන් පසු එක් ක්ෂේත්‍රයක් පිළිබඳව (ශල්‍ය වෛද්‍ය , ප්‍රසව හා නාරිවේද, ළමා රෝග, කාය චිකිත්සා ආදී වශයෙන්) අවම වශයෙන් වසර තුනකවත් විශ්වවිද්‍යාල පශ්චාත් උපාධියක් { M’phil, MD (Ayur), MS (Ayur) } හැදෑරූ විශේෂඥ දැනුමෙන් යුතු වෛද්‍යවරුන්ය.
මහාචාර්යවරුන්–
ආයුර්වේද වෛද්‍යවේදී සහ ශල්‍යවේදී උපාධිය හා පශ්චාත් උපාධියක් හැදෑරීමෙන් පසු අදාළ විෂය
ක්ෂේත්‍රය පිළිබඳව තවදුරටත් විශ්වවිද්‍යාල මට්ටමෙන් අධ්‍යනයන් සිදුකල වෛද්‍යවරුන්ය.
ශ්‍රී ලංකාවේ ආයුර්වේද හා දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ උපාධිධාරී වෛද්‍යවරුන් අඩුය. විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රමාණය බොහෝ අඩු අතර මහාචාර්යවරුන් ඊටත් වඩා අඩු ප්‍රමාණයක් සිටී. බොහෝවිට මෙම විශේෂඥ වෛද්‍යවරුන් හා පාරම්පරික විශේෂ වෛද්‍යවරුන් පිලිබඳව ශ්‍රී ලංකාවේ ජනතාව නිවැරදිව හදුනාගෙන නොමැති බව පෙනී යයි.
ඔබගේ ආයුර්වේද හා දේශීය වෛද්‍යවරයා පිළිබදව ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සභාවේ නිළ වෙබ් අඩවිය වන http://www.ayurvedicmedicoun.gov.lk මගින් සොයා බැලිය හැක.
Languages Translator
No Comments