දැනුවත් කිරීම්

ආයුර්වේද හා දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය

ලෝකය පුරාම සියලුම රටවල ස්වකීය දේශයන්ට අනන්‍යය වූ සංස්කෘතික අංගයන් මෙන්ම ස්වදේශීය වූ වෛද්‍ය ක්‍රමද තිබේ.ශ්‍රී ලංකාව වන අප රටේ ද පාරම්පරිකව උරුමයක් ලෙස ආ දේශීය වෛද්‍ය ක්‍රමය ඈත අතීතයේ සිට අපේ මුතුන්මිත්තන් දිවි හිමියෙන් ආරක්ෂා කර ගත්හ. උතුරු ඉන්දීය ආයුර්වේදයත්, දකුණු ඉන්දීය සිද්ධ වෛද්‍ය ක්‍රමයත්, අරාබි දේශයේ යුනානි වෛද්‍ය ක්‍රමයත් සම්මිශ්‍රණය වී අද දේශීය වෙදකම සිරිලක පුරා විසිරිව පවතී. වර්ථමානයේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය හා පාරම්පරිකව උරුමයක් ලෙස ආ දේශීය වෛද්‍ය ක්‍රමය ප්‍රධානව ශ්‍රී ලංකාවේ ජනයාට රජයේ ආයුර්වේද වෛද්‍ය සේවාව ලෙස මෙම වෛද්‍ය ක්‍රම වලින් නොමිලේ සුවසෙත සලසයි.සිද්ධාන්තමය කරුණු වශයෙන් සැලකූ විට ආයුර්වේද වෛද්‍ය ක්‍රමය වඩා පොහොසත් වේ.
ආයුර්වේදය යනු ආයුෂ යන්නෙන් දීර්ඝ ජීවිතය ද වේදය යන්නෙන් උසස් දැනගැනීම නොහොත් උතුම් අනුශාසනය ද ගැනේ. මේ අනුව දිගු කලක් ජීවත්වීමට උපදෙස් දෙන උතුම් ශාස්ත්‍රය “ආයුර්වේදය” ලෙසින් නම් කර ඇත.
අද දින එය ඉන්දියාව නේපාලය සහ ශ්‍රී ලංකාවේ මිලියන ගණනක් වු ජනතාව විසින් බහුලව භාවිතා කරන ක්‍රමයකි. බටහිර රටවල ද ආයුර්වේදය ජනප්‍රිය වෙමින් පවතී.
  • ආයුර්වේද ජීවන දර්ශනය අනුව රෝග ඇති වූ විට සුව කරනවාට වඩා රෝග වළක්වා ගැනීම වැදගත්ය.
ආයුර්වේදය යනු.....
⋆ ආයුෂය පිළිබඳ විද්‍යාවකි.
⋆ වෛද්‍ය ක්‍රමයක් පමණක් නොව ජීවත් විය යුතු ආකාරය පෙන්වා දෙන ජීවන දර්ශනයකි.
ආයුර්වේදයේ අරමුණු
⋆ නිරෝගී පුද්ගලයාගේ නිරෝගී බව ආරක්ෂා කිරීම
⋆ රෝගී පුද්ගලයාගේ රෝග සුව කිරීම

-->

ආයුර්වේද හා දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය

 

ලෝකය පුරාම සියලුම රටවල ස්වකීය දේශයන්ට අනන්‍යය වූ සංස්කෘතික අංගයන් මෙන්ම ස්වදේශීය වූ වෛද්‍ය ක්‍රමද තිබේ.ශ්‍රී ලංකාව වන අප රටේ ද පාරම්පරිකව උරුමයක් ලෙස ආ දේශීය වෛද්‍ය ක්‍රමය ඈත අතීතයේ සිට අපේ මුතුන්මිත්තන් දිවි හිමියෙන් ආරක්ෂා කර ගත්හ. උතුරු ඉන්දීය ආයුර්වේදයත්, දකුණු ඉන්දීය සිද්ධ වෛද්‍ය ක්‍රමයත්, අරාබි දේශයේ යුනානි වෛද්‍ය ක්‍රමයත් සම්මිශ්‍රණය වී අද දේශීය වෙදකම සිරිලක පුරා විසිරිව පවතී. වර්ථමානයේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය හා පාරම්පරිකව උරුමයක් ලෙස ආ දේශීය වෛද්‍ය ක්‍රමය ප්‍රධානව ශ්‍රී  ලංකාවේ ජනයාට රජයේ ආයුර්වේද වෛද්‍ය සේවාව ලෙස මෙම වෛද්‍ය ක්‍රම වලින් නොමිලේ සුවසෙත සලසයි.සිද්ධාන්තමය කරුණු වශයෙන් සැලකූ විට ආයුර්වේද වෛද්‍ය ක්‍රමය වඩා පොහොසත් වේ.

ආයුර්වේදය යනු ආයුෂ යන්නෙන් දීර්ඝ ජීවිතය ද වේදය යන්නෙන් උසස් දැනගැනීම නොහොත් උතුම් අනුශාසනය ද ගැනේ. මේ අනුව දිගු කලක් ජීවත්වීමට උපදෙස් දෙන උතුම් ශාස්ත්‍රය “ආයුර්වේදය” ලෙසින් නම් කර ඇත.

අද දින  එය ඉන්දියාව නේපාලය සහ ශ්‍රී ලංකාවේ මිලියන ගණනක් වු ජනතාව විසින් බහුලව භාවිතා කරන ක්‍රමයකි. බටහිර රටවල ද ආයුර්වේදය ජනප්‍රිය වෙමින් පවතී.

 

  • ආයුර්වේද ජීවන දර්ශනය අනුව රෝග ඇති වූ විට සුව කරනවාට වඩා රෝග වළක්වා ගැනීම වැදගත්ය.

 

 

ආයුර්වේදය යනු.....

⋆      ආයුෂය පිළිබඳ විද්‍යාවකි.

⋆      වෛද්‍ය ක්‍රමයක් පමණක් නොව ජීවත් විය යුතු ආකාරය පෙන්වා දෙන                 ජීවන දර්ශනයකි.

 

ආයුර්වේදයේ අරමුණු

⋆   නිරෝගී පුද්ගලයාගේ නිරෝගී බව ආරක්ෂා කිරීම

⋆   රෝගී පුද්ගලයාගේ රෝග සුව කිරීම

 ආයුර්වේදය අංග අටකින් සමන්විත වේ.

 

  • ශල්‍ය තන්ත්‍රය          • රසායන තන්ත්‍රය
  • ශාලාක්‍ය තන්ත්‍රය  • වාජීකරණ තන්ත්‍රය
  • කාය චිකිත්සා තන්ත්‍රය  • අගද තන්ත්‍රය
  • කෞමාරභෘත්‍ය තන්ත්‍රය • භූත විද්‍යා තන්ත්‍රය

 

ශල්‍ය තන්ත්‍රය-     

ඖෂධ වලින් සුවකළ නොහැකි රෝග වලට ශල්‍ය ප්‍රතිකාර විධි (Surgery) භාවිතය හා සම්බන්ධ කොටසයි.

 

ශාලක්‍ය තන්ත්‍රය-

අක්ෂකාස්ථීයෙන් ඉහළ රෝග වලට (ශලාකා කූරු ආධාර කරගෙන) ප්‍රතිකාර කිරීම.

 

කාය චිකිත්සා තන්ත්‍රය-

සාමාන්‍ය රෝග වලට (සර්වාංග රෝග) ප්‍රතිකාර කිරීම.

 

කෞමාරභෘත්‍ය තන්ත්‍රය-

ස්ත්‍රී රෝග චිකිත්සාව, ගර්භණී චිකිත්සාව හා  බාල රෝග චිකිත්සාව මෙහිදී සිදුකරයි. කාන්තාවගේ නිරෝගී බව, නිරෝගී දරුවෙකු ලබාගැනීම හා දරුවාගේ රෝග වලට ප්‍රතිකාර කිරීම ඉලක්ක කෙරේ.

 

රසායන තන්ත්‍රය-

තරුණ බව රැකගැනීම එනම් රූපලාවන්‍ය ප්‍රතිකාර ඇති කොටසයි. ශරීරය පුෂ්ටිමත් කරන ක්‍රමද මෙහි අන්තර්ගත වේ.

 

 

 

වාජීකරණ තන්ත්‍රය-

ලිංගික ශක්තිය වැඩි කරන ක්‍රම අන්තර්ගත වේ. ප්‍රජාව පවත්වාගෙන යාම පිළිබඳව ඉලක්ක කෙරේ.

 

අගධ තන්ත්‍රය-

 

විෂ පිළිබඳව ඇති කොටස වේ. සර්ප විෂ හා නොයෙක් පාෂාණ වර්ගද ශාක ද්‍රව්‍යවල විෂද තවද කෘතී්‍රම විෂ වර්ග වලින් ඇතිවන තත්ත්වයන්ටද ප්‍රතිකාර කරයි.

 

භුතවිද්‍යා තන්ත්‍රය-

 

භෞතික නොවන හේතු සහිත කාරණා නිසා හටගත් රෝග සඳහා නොයෙකුත් යාග-හෝම, බලි-තොවිල් ආදිය මගින් කරන ප්‍රතිකාර විධි මෙයට අදාළ වේ.

එනම් ආයුර්වේද වෛද්‍ය කර්මයේ ස්වභාවය පුළුල් පරාසයක විහිදෙන බවයි.

ආහාර

ලෝකයේ විවිධ වෛද්‍ය ක්‍රම අතර ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ ආහාර වලට විශේෂ තැනක් හිමි වෙයි ආයුර්වේද යන වචනයෙහි තේරුමම ආයුෂ පිළිබඳ  විද්‍යාව යන්නයි. ආයුෂ හෙවත් ජීවිතය පවත්වාගෙන යාමට ආහාර අත්‍යවශ්‍ය වේ.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව අනුව රෝග ඇති වන්නේ වැරදි ආහාර ,විහරණ (හැසිරීම) හා ඖෂධ නිසාය. මීට අමතරව ආගන්තුක හේතු (බාහිරින් පැමිණෙන නොයෙකුත් හේතු) ද මීට හේතු වේ.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ ආහාර සම්බන්ධයෙන් ඉතා පුළුල් විග්‍රහයක් ඉදිරිපත් කර ඇත. ඒ අතරින් වර්තමාන සමාජයට බෙහෙවින් වැදගත්වන හා අද කාලයට වඩාත් ප්‍රායෝගික වන කරුණු කීපයක් මෙම ලිපියෙන් ඉදිරිපත් කරමි.

මෙහිදී කෘතිම ආහාර වලින් ඈත්වීමෙත් ස්වභාවික ආහාර වලට ළංවීමෙත් වැදගත්කම සලකා බලමු.

 

කෘතිම රසායනික ක්‍රියාවලි මගින් නිපදවන මෙම කෘතිම ආහාර(කෘතිම ආහාරවල අඩංගු රසායනික ද්‍රව්‍ය හඳුන්වන අන්තර්ජාතික සංකේත ක්‍රමය E අංක නම් වේ.) වලින් අපි ඈත් විය යුත්තේ ඇයි?

 

සිරුරට හිතකර නිසා

මිල අධික නිසා

විවිධ අතුරු ආබාධ ඇතිවන නිසා

දරුවන් ඇති කිරීමේ හැකියාව අඩු කරන නිසා

බෝ නොවන රෝග වැළඳීමේ හැකියාව වැඩි නිසා

 

කෘතිම ආහාර නිසා ඇතිවන මෙම බෝනොවන රෝග අතර

 

අධිරුධිර පීඩනය

දියවැඩියාව

අධිලිපිඩතාවය (කොලෙස්ටරෝල්)

අක්මා රෝග

වකුගඩු රෝග

පිළිකා

හෘද රෝග

ඇදුම

ළමුන්ගේ අධි ක්‍රියාකාරිත්වය

 

ආදිය ඇතිවේ. මෙනිසා රෝගී වන පුද්ගලයන් සංඛ්‍යාව ඉහළ යාමත්  මරණ සංඛ්‍යාව වැඩිවීමත් නිසා එමඟින් දුකට පත්වන ඔවුන්ගේ පවුල්වල සංඛ්‍යාවද ඉහළ යාම සාමාජීය ප්‍රශ්න ඇති කරයි. තවද එමගින් අහිමි වන මිනිස් ශ්‍රමය නිසා තම පවුලට ද රටේ ආර්ථිකයට ද එය සෘජුවම  බලපායි.

නොයෙකුත් ස්වභාවික ද්‍රව්‍ය වලින් නිපදවනවා යයි පවසමින් අද බොහෝ කෘතිම රසායනික ආහාර වෙළඳපොළට එක්වී තිබේ. මේ අතර ආහාර රස උත්තේජක(උදාහරණයක් ලෙස monosodium glutamate-MSG-sodium glutamate- E621) කෘතිම වර්ණක(උදාහරණයක් ලෙස කහපාට වර්ණකයක් වන tartrazine -E102)බහුලව පවතී. බොහෝ පුද්ගලයන් නොදැනුවත්කම නිසා මෙම ආහාර තමුන්ගේ ස්වභාවික ආහාරවලට එක් කිරීමට පුරුදු වී සිටී.තවද බුද්ධිමත්ව තේරුම් ගත යුතු දෙයක් වන්නේ ස්වභාවික වශයෙන් ඉක්මනින් නරක් වන සුළු ආහාර නිෂ්පාදිත දිනයේ සිට බොහෝ කාලයක් තබා ගැනීමට හැකි වන්නේ ඒවාට කල් තබා ගැනීමේ රසායනික(Preservatives) යොදා ඇති නිසාය.ක්ෂුද්‍රජීවී ක්‍රියාකාරීත්වය හා රසායනික වෙනස්වීම් පාලනය කරන මෙම අමතර රසායනික ද්‍රව්‍යයන් විවිධ වේ.සමහර අවස්ථාවල ආහාර ද්‍රව්‍ය වැඩිපුර කල් තබා ගැනීමට මේවා වැඩි වශයෙන් භාවිතා කරයි.තවද නොයෙකුත් පලතුරු රස ආදී වශයෙන් රස කර ඇති  ආහාර ද්‍රව්‍යවල ඇත්තේ එම පලතුරු ද්‍රව්‍ය නොව එම පලතුරුවල රසය කෘතිමව සදා ඇති රසායනික ද්‍රව්‍යයන්ය.

සාමාන්‍යයෙන් නිවසක ආහාර කළමනාකරණය බොහෝවිට කාන්තාවන් විසින් සිදු කරන නිසා ඔවුන් මෙය සම්බන්ධයෙන් වඩාත් බුද්ධිමත් විය යුතුය. මාගේ අත්දැකීම් අනුව මා දැක ඇත්තේ ආදරයට යැයි කියමින් දරුවන්ට මෙම නොයෙක් රසකාරක නොයෙක් කෘතිම පලතුරු රස ආදිය යෙදූ ආහාර දෙමාපියන් විසින් ම තම දූ දරුවන්ට කැවීම ය .මෙම කෘතිම ආහාර නිසා ඔවුන්ගේ දිව උත්තේජ වීම හා ඔවුන් එයට ඇබ්බැහිවීම තුළින් නැවත නැවත එම ආහාර ම මිසක් ස්වභාවික ආහාර වලින් දරුවන් ඈත් වීමට මෙය බලපායි. මෙය ඔවුන්ගේ පසු ජීවිතය දැඩි රෝගී තත්වයන් ගෙන ඒමට මග සලස්වයි.

මෙහිදී තවත් විශේෂයෙන් කිව යුතු දෙයක් වන්නේ නොයෙකුත් ආකල්ප හේතුවෙන් කෘතිම ආහාර ස්වභාවික ආහාර වලට එක් කරන බව යි.වඩා රසවත් වූ සෑදූ ස්වභාවික දොඩම් පානය පැහැය වතුර වගේ යැයි පවසා ඇයට කෘතිම වර්ණකයක් එකතු කරන අවස්ථා ඕනෑ තරම් අප දැක තිබේ. ස්වභාවිකව රසට උයා ගත්ත ආහාර වේල  රස කිරීමට යැයි පවසා කෘතිම රසකාරකයක්   එක් කිරීමට සමහරු පුරුදු වී සිටී.

මෙම ස්වභාවික ආහාර වලට කෘතිම රසකාරක යෙදීම ඉතාම අනුවණ ක්‍රියාවක් වන අතර ලෝකයේ දියුණු සමාජවල මෙය බොහෝ යල් පැන ගිය ක්‍රමයක් සේ සලකයි.

තෙල් මිරිස් අධිකව හා කෘතිම රසකාරක අඩංගු කෑම ඒ නිසා රෑට බඩේ දැවිල්ල රාත්‍රිය පුරාවට ඇති වන  වතුර තිබහ මෙන් ම , උදේට වැසිකිළි යාමේදී අධික දැවිල්ල ආදී හට ගනී.මෙතරම් අපහසුතා රාශියක් විදීමට මෙම ආහාර කුමන හේතුවක් නිසා ගන්නේ දැයි තම තමන්ගේ ආකල්ප නැවත සකස් කර ගැනීමේ අවශ්‍යතාවය අප ඉදිරියේ තිබේ.

තත්වය මෙසේ නම් අප විසින් සිදු කළ යුත්තේ කුමක්ද ? අප සිදු කළ යුත්තේ අපගේ ස්වභාවික ආහාර වේලට නැවත හුරුවීමය.

          වර්තමාන ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට මූලික පදනම වූ වසර තුන් දහසකට පමණ පෙර ඍෂිවරුන් විසින් ලියන ලද පොත් තුනෙන් එකක් වන චරක සංහිතාවේ හි දැක්වෙන පරිදි, “දේශ සාත්ම්‍ය ආහාර සංකල්පය‘‘ ඉතා වැදගත් වේ. එනම්, තමා අවට පරිසරයෙන් ලබා ගත හැකි ශාක සහ සත්ත්වමය ආහාර තම සිරුරට හිතකර අයුරින් සැකසී ඇත.මෙම සංකල්පයේ ඉතා ම සරල මට්ටමේ උදාහරණයක් ලෙස වියලි කලාපයේ වැවෙන කොමඩු කැකිරි පිපිඤ්ඤා වැනි ආහාර එම ප්‍රදේශයේ අධික පරිසර උෂ්ණත්වය නිසා උණුසුම් වන සිරුර සිසිල් කිරීමට උදව් වීම පෙන්වා දිය හැකිය. එසේම ශීත ප්‍රදේශවල වැවෙන රඹුටන් දුරියන් වැනි ආහාර එම සිසිලස මගහැරීමට උදව් වේ.

 

අප ස්වභාවික ආහාර වලට ලං විය යුත්තේ ඇයි?

 

වියදම අවම නිසා.

පෝෂණ ගුණය වැඩි නිසා.

දේශ සාත්ම්‍ය සංකල්ප අතුරු ආබාධ අවම නිසා.

කෘත්‍රිම ක්ෂණික ආහාරපාන මෙන් නොව බෝ නොවන රෝග වැළඳීමේ හැකියාව අවම කරවන නිසා.

වසවිසෙන් තොර නිසා.

ප්‍රතිඔක්සිකාරක ගුණය බහුල නිසා.

බෝ නොවන රෝග වැළඳීමේ හැකියාව අඩු නිසා.

 

ස්වභාවික සාම්ප්‍රදායික පැරණි ආහාර, පිරිසුදු පරිසරය හා ව්‍යායාමය සෞඛ්‍ය සම්පන්න දිවි පැවැත්මක් සඳහා උපකාරී වේ.

රෝග වැලඳීමෙන් පසු ප්‍රතිකාර කිරීම නොව රෝග නිවාරණය හෙවත් වළක්වා ගැනීම උතුම්ය. මෙය ආයුර්වේද ජීවන දර්ශනයයි.

එසේනම් අපගේ ස්වභාවික ආහාර  වේල කුමක් විය යුතු ද?

යමෙකු ජීවත්වන පළාතේ පසය රසය ලබාගෙන වැඩෙන ආහාර ස්වභාවික ආහාර වෙයි.තවද මව්කිරි මනුස්ස ජීවිතයේ මූලිකම ස්වභාවික ආහාරයයි.

ස්වභාවික ආහාරයක් වුවද තෝරාගැනීමේදී කරුණු රාශියක් සැලකිලිමත් විය යුතුය එනම්‘

දේශගුණයේ ස්වභාවය,

රැකියාව,

පුද්ගලයාගේ ප්‍රකුර්තිය,(එනම් පුද්ගලයාගේ ස්වභාවික  උත්පත්ති ලක්ෂණ අනුව, සමහර පුද්ගලයින්ට සමහර ආහාර ආසාත්මික වේ. තවත් සමහර පුද්ගලයින්ට සමහර ආහාර ගත්විට සෙම් රෝග ඇතිවේ. තවත් සමහරුන්ට සමහර ආහාර ගත් විට අධික දැවිල්ල හට ගනී. ඒ එම පුද්ගලයාගේ ස්වභාවික උත්පත්ති ලක්ෂණ අනුවය.තම තමන් ආහාර තෝරා ගැනීමේදී මෙම කරුණු ගැන සැලකිලිමත් විය යුතුය.)

ශාරීරික රෝගයන්ගේ බල දුබලතාවය, (සමහර රෝග අවස්ථාවලට නොගැලපෙන ආහාර නොගත යුතුය.)

අවශ්‍යතාවය, (මුදල් තිබූ පමණින් ආහාර නාස්ති නොකර සමාජයේ අනිත් පුද්ගලයන්ට ද එම ආහාර ඉතිරිකර තමන්ගේ අවශ්‍යතාවයට පමණක් ආහාර ලබා ගත යුතුය.සමහර රටවල මේ සඳහා නීති රීති ද ක්‍රියාත්මක වේ.)

ආහාර දිරවීමේ හැකියාව, (සමහර පුද්ගලයින්ට සමහර බර ආහාර ජීර්ණය අඩුය එය ඔවුන්ගේ ජීර්ණ හැකියාව මතය. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ මේ පිළිබඳ ඉතා පුළුල් විග්‍රහයක් දැක්වේ.)

රෝග නිවාරණ ගුණය, (සමහර ආහාර වල සමහර රෝග තත්ත්වයන් සුව වෙන ගුණය අඩංගුය.ඒ නිසා තම තමන්ගේ තිබෙන රෝග තත්ත්වයන් අනුව ඒවා පිළිබඳව දැනුවත් ව ආහාර ගැනීම වැදගත් වේ.)

 

මීට අමතරව තවත් ආහාරයක තිබිය යුතු මුලික ලක්ෂණ වේ.එනම්,

 

ශරීරයට හිතවත්වීම,(එනම් ශරීරයට එම ආහාර ගත් පසු අහිතකර ප්‍රතිඵල ඇති නොවී හිතකර ප්‍රතිඵල ම ඇතිවීම.)

ඇසට ප්‍රිය වර්ණ,

රස, සුවඳ, ස්පර්ශය ප්‍රිය වීම,

මෙම කාරණා සාක්ෂාත් වන සේ ආහාරය සකස් කර තිබිය යුතුය. නැතහොත් සකසා ගත යුතුය.

 

මීට අමතරව  ආහාර ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳව දැන් අවදානය යොමු කරමු.

 

* ආහාර මාත්‍රාව පිළිබඳ සැලකිලිමත් වන්න(සාමාන්‍යයෙන් නිරෝගී  පුද්ගලයෙකුට ආහාරයක් ගැනීමට උපදෙස් දී ඇත්තේ ආමාශයෙන් භාගයක් පිරෙන තුරු ආහාරයද තවත් කාලක් පිරෙනතුරු ජලයද ඉතුරු කාල හිස්වද තබන ලෙසය.එවිට විවිධ චලනයන් ඇති වී එම ආහාර ජීර්ණය වඩා පහසු වේ. තවද ආමාශය විනිවිද නොපෙනෙන නිසා මෙය තේරුම් ගන්නේ ආහාරයක් ගත් පසු තම කුස ගින්න නිවීම ද විශේෂ වෙහෙසක් ඇති නොවීම ද එම ප්‍රමාණයට ආහාර ගත යුතුය

*හීන මාත්‍රාව(අඩුවෙන් ආහාර ගැනීම) ශරීරයට අහිතකරයි

*අධික මාත්‍රාව( ්‍රමාණය ඉක්මවා වැඩියෙන් ආහාර ගැනීම) රෝග ඇතිකරයි

*කුසගිනි නැති විට ආහාර නොගන්න ඇතිවිට පමණක් ආහාර ගන්න

*ගත්ත අහාරයක් දිරවීමට පෙර නැවත ආහාර නොගන්න

*නොගැලපෙන ආහාර එකට ගැනීමෙන් වළකින්න(සමහර ආහාර වර්ග එකට ගැනීමට නුසුදුසු බව පෙන්වා දී තිබේ. එසේ ගත්විට නිපදවෙන නොයෙකුත් රසායනික ද්‍රව්‍ය හා ක්‍රියාවන් සිරුරට අහිතකර වේ.

 

උදා:   * මඥ්ඥෙක්කා හා ඉගුරු

* මාළු සහ මස් එකට කෑම

* මාළු හෝ මස් ආහාරයෙන් පසු හෝ සමඟ කිරි ආහාර

අද බෙහෝවිට කරන වැරදි ක්‍රියාවක් වන්නේ මාළු හෝ මස් ආහාරයෙන් පසු යෝගට්, අයිස්ක්‍රීම් වැනි කිරි ආහාර අතුරුපස ලෙස ගැනීමයි.)

          *හොඳින් නොපැසුණු ආහාර ගැනීමෙන් වළකින්න (හොඳින් උයා ගත යුතු ආහාර එසේ උයා ආහාරයට ගත යුතුය. බාගෙට අමුවෙන්  බත් ආදිය ආහාරයට නොගත යුතු අතර බත් හොඳින් ඉදුණු පසු ආහාරයට ගත යුතුය.

 

* ආහාර ගන්නා විට ශික්ෂණයක් ඇති කරගන්න(කුඩා කල සිටම සංයමයෙන් යුතුව ආහාර ගැනීම අපගේ සංස්කෘතිය තුළ දරුවන්ට උගන්වනු ලැබේ.)

 

ආහාර දෙපැත්ත කැපෙන අවියක් මෙනි. ජීවිතයට අත්‍යවශ්‍ය ආහාර යහපත්  අයුරින් ගත්විට ජීවිතය ආරක්ෂා කරයි. එසේම අයහපත් අයුරින් ගන්නේ නම් ජීවිතය වනසයි.

 

මීළඟට  අපේ රටේ ප්‍රධාන ආහාරය වන බත් පිළිබඳව සලකා බලමු.

කුඩා කාලයේ දී මවු කිරි බොන දරුවා පසුවමාස 6 සිට ක්‍රමයෙන් බත් වලට හුරු වේ.

ඉන්පසු මහලු විය දක්වා ම සුදුසු ආහාරයකි. සිරුරට ශක්තිය ලබා දෙන බත් වාත පිත සෙම යන තුන් දෙකම සමනය කරන අතර ලේ, මාංශ පේශි, අස්ථි, අස්ථි මජ්ජා,ශුක්‍ර යන සියලු සප්ත ධාතු වර්ධනය කරවයි. සහල් නිවුඩු තුළ පෝෂණ ගුණය බහුල අතර වී තැම්බීමේදී එම පෝෂණ ගුණය සහල් ඇටය වෙත උරාගනී.එමනිසා නිවුඩු සහිත තැම්බූ හාල් වැඩිපුර ආහාරයට ගැනීම නිසා වැඩි පෝෂ ගුණයක් ලැබේ. මෙලෙස

තුන්වේලට ම සුදුසු අතිවිශිෂ්ට ආහාරය බත් වන අතර විවිධ බත් වර්ග වේ.එනම්,

 

කැකුළු බත් - මෙහිදී අමු පිටි නිසා ආම තත්වයන් ඇතිවිය හැක. එනම් දිරවීම අපහසු වේ.දිරවීම අපහසු රෝගීන්හට එතරම් සුදුසු නොවේ.

 

තැම්බූ හාල් බත -  දී තැම්බීමේදී ද හාල් ඇට පිටි තැම්බෙන නිසා මෙය හොඳින් දිරවයි. දිරවීම අපහසු රෝගීන් හට වඩා සුදුසුයි.

 

අළුත් හාලේ බත් -  ඉක්මනින් දිරවා වැඩි සීනි ප්‍රමාණයක් ශරීරයට එකතු කරයි.

 

පරණ හාලේ බත් -ගුණයෙන් වඩාත් වැඩියි. රෝගීන්ට සුදුසුයි.

 

හීල් බත්-  සිසිල් ගුණයෙන් වැඩියි. රත් පිත් රෝග වලට ගුණයි. ධාවකයන් හට, ක්‍රීඩකයන් හට වඩා සුදුසුයි.

 

දිය බත්- හීල් බත් වලට රාත්‍රී වතුර දමා  පසුදා උදේට වතුර  වෙනමද  බත් වෙනම ගෙන රතුලූනු අමුමිරිස් දමා අවශ්‍යනම් තෙම්පරාදු කර සාදාගන්නා මෙය සිසිල් ගුණයෙන් හීල් බත් වලට වඩා වැඩිය. රත් රෝගීන්ට වඩා සුදුසුය.

 

කිරිබත්-  සීත ගුණයි ගුරු ගුණයි. ගුරු ගුණය නිසා දිරවීම තරමක් අපහසුයි.

 

මුං ඇට කිරිබත් - කිරිබත්වල සීත ගුණය හා ගුරු ගුණය එලෙසම තිබෙන අතර මුං ඇටවල ගුණ ද එකතු වන නිසා, සීත ගුණය සාමාන්‍ය කිරිබත් වලට වඩා වැඩියි.

 

ලබු කිරිබත් - කිරිබත් වල සීත ගුණය හා ගුරු ගුණය එලෙසම තිබෙන අතර සීත ගුණය මුංඇට කිරිබත් වලටත් වඩා වැඩිය .

 

ඉඹුල් කිරිබත් - මෙහි පැණිපොල් අඩංගු නිසා මධුර රසය හෙවත් පැණි රසයෙන් යුක්තය.    කිරිබත්වල අඩංගු සීත හා ගුරු ගුණ ද ඇත. (පුරාණයේ ගොවිතැන් කරන විට කුඹුරට  පෙරවරු 10.00 ට පමණ අරන් යන “කෛය“ හෙවත් තේ බොන වෙලාවට අමතර ආහාරයක් ලෙස ඉඹුල් කිරිබත් වැනි කෑම යොදාගෙන තිබේ.)

 

අපගේ සාම්ප්‍රදායික දැනුම අනුව අපගේ ගෘහණියන් මෙම නොයෙක් බත් වර්ග සෑදීමට එදා ඉඳන් දැන සිටි අතර මෙම එක එක බක් වර්ගවල ගුණ එකිනෙකට වෙනස් වේ.

මීළඟට අපගේ නොයෙක්  දේශීය සහල් වර්ග පිළිබඳව අවධානය යොමු කරමු.

 

දේශීය සහල්

සුවදැල් ශරීරය වර්ධනය කරයි.,

බහිස්ස්‍රාවීයකාරීය පහසු කරයි.

 

ලිංගික ශක්තිය වඩවන හැට දා වී මලබද්ධය දුරු කරයි.,

ශරීරයේ සෘජු බව ඇති කරයි.

 

කුරුලුතුඩ මුත්‍රා පිටවීම පහසු කරයි., ලිංගික ශක්තිය වඩවයි.

 

කළු හීනැටි ශරීරයේ විස නසයි.,

මල පිට කිරීම පහසු කරයි., ශරීර ශක්තිය වඩවයි., සෙංගමාලයට කැඳ ලෙස හා සර්ප විසටද ගුණයි.

 

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවක් සමග බැඳී පවතින තවත් වැදගත් ආහාරයක් ලෙස කොළකැඳ හැඳින්විය හැකිය. මෙය ආහාරමය මෙන්ම ඖෂධීය වටිනාකමකින් ද යුක්තය.

කොළ කැඳ භාවිතයේ වාසි අවාසි සලකා බැලුවහොත්, වාසි ලෙස,

 

ආහාර රුචිය වර්ධනය කරයි.,

ආහාර දිරවීම පහසු කරයි.,

විටමින් වර්ග ලබා දෙයි.,

එදිනෙදා ආහාර සමග ශරීර ගතවන විෂ පදාර්ථ ශරීරයට උරා ගැනීම අවම කරයි.,

තරුණ බව රැකදෙයි.,

බල ප්‍රඥා වඩා රෝග සුව කරයි.,

මලබද්ධය දුරු කරයි.,

          අවාසියක් නොමැත.තිබෙනම් එකමආවාසියකට ඇත්තේ වර්තමානයේ දී  කොළ කැඳ සාදා ගැනීම සඳහා කොළ වර්ග සොයා ගැනීමේ අපහසුව පමණි.නමුත් තමන් උනන්දුවී ගෙවත්තේ එම කොළ වර්ග වවා ගන්නේ නම් කිසිම ගැටලුවක් වන්නේ නැත.

 

සාමාන්‍යයෙන් කොළ කැඳ වර්ග විවිධ වෙයි. එනම්,

 

* සාමාන්‍ය කොල කැද

* විවිධ රෝග සඳහා යොදන ඖෂධීය කොළ කැඳ     වශයෙනි.

 

සාමාන්‍ය කොල කැද සාදන ආකාරය සලකා බලමු.

 

සාමාන්‍ය කොල කැද සාදන ආකාරය

 

අවශ්‍ය ද්‍රව්‍ය:-          අදාළ සුදුසු කොළ මිටක් දෙකක්

සහල් එනම් නිවුඩු හාල්

පොල් මිටක් පමණ

දිය ලුණු ස්වල්පයක්

ඉඟුරු සුදුලූනු කරපිංචා උළුහාල් රතුලූණු ආදිය.

 

මුලින්ම කොළ පිරිසුදු කර සුදු ලූණු හා රතුළූණු සමග කොටා යුෂ මිරිකා ගන්න.(පණු රෝග වලක්වා ගැනීම සඳහා කොළ පල්මානික්කම් හෙවත් පොටෑසියම් පර්මැංගනේට් වතුරෙන් හෝ උණුවතුරෙන් සෝදා ගැනීම කළ හැක.)

 

          ගාගත් පොල් වලින් මිටි කිරි මිරිකා ගන්න.

 

එසේ මිරිකාගත් පොල්වල ඉතුරු පොල්කුඩු හා කොළවල ඉතුරු රොඩු දමා නැවත කොටාගෙන යුෂ මිරිකා එම දෙවන වර මිරිකාගත් යුෂ හා නිවුඩු හාල්, කරපිංචා, උළුහාල්,ඉඟුරු සමග දිය ලුණු අවශ්‍ය ප්‍රමාණය දමා ලිප තබා උයාගන්න.

 

මෙම මිශ්‍රණය ඉදුණු පසු  මුලින්ම කොටා මිරිකා ගත් කොළ යුෂ සමග මිටිකිරි දමා  විනාඩි දෙකක් පමණ ලිපේ තබා  බුබුළක් දෙකක් දමා යාන්තම් උතුරාගෙන එන විට  ලිපෙන් බා ගන්න.

පෝෂණීය කොල කැද සාදන ආකාරය

 

රතු කැකුළු හාල්, මුං ඇට, සෝයා, කඩල, කුරක්කන් පිටි වැනි ධාන්‍ය වර්ගවලින් කිහිපයෙක පිටි මේස හැන්ද බැගින් ලිපේ තබා උයාගන්නා මිශ්‍රණය වෙත එකතු කර පෙර පරිදිම සාදාගන්න.

 

විවිධ රෝග සඳහා වඩාත් සුදුසු ඖෂධීය කොළ කැඳ

 

සෙම් රෝග සඳහා:-

 

එළබටු කොළ,

වැල් තිබ්බටු කොළ,

යකිනාරං කොළ               ද

 

පණු රෝග සඳහා:-

 

ගොටුකොළ.

බටකිරිල්ල කොළ,

එරබදු කොළ                     ද 

 

මතක ශක්තිය වර්ධනය කිරීමට:-

 

ගොටුකොල,

ලුණුවිල                            ද  

 

ඇස් පෙනීම වර්ධනය කිරීමට:-

 

මුගුනුවැන්න,

කිකිරිදිය,

ගොටුකොල                           ද

 

මුත්‍රා දැවිල්ලට:-

 

පොල්පලා,

නීරමුල්ලිය,

රණවරා,

ඉරමුඉසු                                 ද

 

ශරීර වර්ධනයට:-

 

වැල්පෙනල,

මොනරකුඩුම්බිය,

හාතාවාරිය කොළ                      ද

 

මල බද්ධය හා අර්ශස් රෝගයට:-

 

කොහිල දළු,

කරල්හැබ,

බෙහෙත් අනෝදා කොළ            ද

 

විස නැසීමට:-

 

හීන්බෝවිටියා කොළ,

දිවුල් කොළ,

                             

                                                           ද වැදගත් වෙයි.

ආයුර්වේද හා දේශීය වෛද්‍ය ක්‍රමය පිළිබද ඇති මිත්‍යාමත හා ඊට පිළිතුරු

      

         සිංහල බෙහෙත් වලින් ලෙඩ අවුස්සලා තමයි හොද කරන්නෙ

රෝගයක් සැලකූවිට ඊට හේතු,එය සම්ප්‍රේෂණය වන ආකාරය රෝගයට පෙර ලක්ෂණ රෝගයේ ලක්ෂණ ප්‍රතිකාර සැලැස්ම ආදිය ආයුර්වේද වෛද්‍යවිද්‍යාවේදී මනාව විස්තර කර ඇති අතර ක්‍රමාණුකූලව ඒවා අධ්‍යනය කළ වෛද්‍යවරයා ඒ අනුව ප්‍රතිකාර කරයි.එසේ නොවන කළ ඉහත තත්ව ඇති විය හැකි අතර ශරීරයේ දෝෂ දුෂ්‍ය තත්ත්වය සංකීර්ණ වන විට සාමාන්‍ය වෛද්‍යවරයා ඍෂිවරයෙකු නොවන නිසා එසේ විය හැකිය. තවද සමහර ප්‍රතිකාර ක්‍රම වලදී දෝෂ බැහැර කිරීමට සැලැස්වීමේදී එවැනි ස්වභාවයක් දැනිය හැකි වූවද උගත් බුද්ධිමත් වෙද්‍ය ක්‍රමය ක්‍රමාණුකූලව හැදෑරූ අත්දැකීම් ඇති වෛද්‍යවරයා එය රෝග ස්වභාවයට හා රෝගියායේ තත්ත්වයට ගැලපෙන ලෙස සිදු කරයි. එනිසා එවැනි වෛද්‍යවරුන් වෙත යොමු වීම වඩාත් සුදුසුය. බටහිර වෙද්‍යවිද්‍යාවේද මෙවැනි සාපේක්ෂකව සලකා තීරණ ගන්නා අවස්ථා ඕනෑ තරම් තිබේ.මේ අනුව පෙනී යන්නේ නුසුදුසු පුද්ගලයන් මෙම වෛද්‍ය ක්ෂෙත්‍රයට පැමිණ කාලයක් තිස්සේම කළ වැරදි නිසා මෙවැනි දුර්මත සමාජ ගත වී ඇති බවයි .

           

        සෙමට සිංහල බෙහෙත් ගත්තාම වැඩිවෙනවා     

ඉහත විස්තර කළ පරිදි ම සෙම් රෝග සදහා ප්‍රතිකාර කිරීමේදීද විවිධ ක්‍රම ඇත. සෙම් බැහැර කර වීමට සැලැස්වීම,වියළවීමට සැලැස්වීම ආදී ලෙසින් ය. ඒ ඒ රෝගියා අනුව වඩාත් සුදුසු ක්‍රමය තීරණ ය කිරීම උගත් බුද්ධිමත් වෙද්‍ය ක්‍රමය ක්‍රමාණුකූලව හැදෑරූ අත්දැකීම් ඇති වෛද්‍යවරයා විසින් සිදු කරයි .එසේ නොවන කළ ගැටළු ඇතිවිය හැකිය. උදාහරණ ලෙස ඇදුම රෝගියෙකු වෙත එක් වරම සෙම් අවුස්සලා පිටකිරීමට තැත් කළහොත් හුස්මගැනීමේ අපහසුතා නිසාවෙන් මිය යාමට පවා පිළිවන.එය වෛද්‍ය ක්‍රමයෙහි වැරැද්දක් නොව භාවිතා කිරීමේ ගැටළු ය. කාලයක් තිස්සේ යම් එක් ක්‍රමයක් පමණක් අවිචාරශීලී ලෙස නුසුදුසු පුද්ගලයන් මෙම වෙද්‍ය⁣ක්ෂේත්‍රය තුල කියා කිරීම නිසා,එය කොතෙක්ද යත් මෙවැනි දුර්මත සමාජගතවී ඇත.

 

           සිංහල බෙහෙතෙන් ලෙඩ හොද වෙන්නෙ හෙමිහිට

සිංහල බෙහෙත් බොහෝ විටම ප්‍රධානව ක්‍රියා කරන්නේ රෝග හේතුවටය. නමුත් වෛදවරයා එම අවස්ථාව නිවැරදිව තේරුම්ගෙන ඔෟෂධ යෙදිය යුතුය. බොහෝ රෝග වලදී හේතුව ඉවත් කිරීමට යාමේදී එය තරමක් සංකීර්ණ වුද තරමක් අඩු වේගයෙන් ද සිදුවන ක්‍රියාවලියක් වේ. නමුත් ඉන් ලැබෙන සුවය බොහෝ ඉහලය. හදිසි අවස්ථාවලදී රෝගී ජීවිත බේරා ගැනීම සදහා විවිද උපක්‍රම යෙදීම අත්‍යාවශ්‍ය වූවද, සාමාන්‍ය වේදනා නාශක පෙති ආදියට වඩා විශිෂ්ඨ සුවයක් ඉන් ලැබේ .නමුත් ක්‍රමාණුකූලව කැපවීමෙන් එය කළ යුතුය.මන්ද යත් හානියෙන් ඇතිවන වේදනාව හානිය එලෙසින්ම තිබියදී (නැතහොත් ඉබේට යන්තම් හරියන තෙක් බලා සිටීමෙන්) කෘතිමව නවතනවාට වඩා හේතුව ඉවත් කර එනම් හානිය නැවත සකස්කර වේදනාව ඉවත් කිරීමේදී දීර්ඝ සුවය ලැබේ.මෙවැනි හේතු නිසා කාලය වැඩිමෙන් දැනීමට පුළුවන. කෙසේ නමුත් සමහර අවස්ථාවලදී වේගවත් ක්‍රියාවලියක් ඇති රසායන ද්‍රව්‍ය සහිත බටහිර ඖෂධ වේගයෙන් ක්‍රියා කළ ද රෝග සුවවීම සාපේක්ෂකව සැලකූවිට සෑමවිටම එය සත්‍ය නොවේ. මන්ද යත් සමහර වසර ගනනාවක් සුවනොවූ සමහර රෝග ආයුර්වේද හා දේශීය වෛද්‍ය ප්‍රතිකාර වලින් සුවවන අවස්ථා ඕනෑ තරම් තිබේ.

    පෙෂර්,කොලෙස්ටරෝල් ,මුත්‍රා ගල් වලට සිංහල බෙහෙත් බිබී ඉදලා හරියන්නෑ

මෙය සමාජයේ තර්ක විරහිත අනවබෝදයෙන් යුතු ආකල්පයක් වේ. ආයුර්වේදයට අනුව  අග්නි ක්‍රියාකාරිත්වයේ දුර්වලතාවයන් නිසා මෙලෙස ශරීරයේ අමතර ද්‍රව්‍ය තැන්පත් වීම් හදුනාගත හැක.නවීන වෛද්‍ය  විද්‍යාත්මකව සිතන විට ශරීරයේ ජෛවරසායනික ප්‍රතික්‍රියාවන් නිසියාකාරව සිදුනොවීම නිසා යම් යම් ද්‍රව්‍ය ශරීරයේ ඉතිරි වේ. ඒවා කොලෙස්ටරෝල් ,මුත්‍රා ගල් ආදිය ලෙස හදුනාගත හැක. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මේවා ජඨරාග්නි දුර්වලතාවයෙන් හටගැනීම ආරම්භ වේ. එනම් ජඨරාග්නි දුර්වලතාවය යනු, නවීනව ආහාර මාර්ගයේ ජීර්ණ හැකියාව අඩාල වීම ලෙස හදුනා ගත හැකිය. එතැන් පටන් ක්‍රමාණුකූලව කාලයත් සමග එම ආහාර මගින් ශරීරය ක්‍රමාණුකූලව පෝෂණය වීමේදී, එම පෝෂණය වීමේ ක්‍රියාවලියේ දුර්වලතාවයන්  හේතුවෙන් ඉහත විස්තර  කළ අමතර ද්‍රව්‍ය තැන්පත් වීම් ඇතිවේ. (ආයුර්වේද වෛද්‍ය විද්‍යවේදී එසේ ජඨරාග්නි දුර්වලතාවයන් ඇතිවන අයුරු වලක්වාගන්නා අයුරු හා එම රෝග තත්ත්වයන් ට ප්‍රතිකාර කරන අයුරු වෙනම මනාව විස්තර කර ඇත. තවද රස-රක්ත-මාංශ-මේදස්-අස්ථි-මංජා-ශුක්‍ර යන ධාතු මොනවාද, ඒවා පිළිවෙළින් පෝෂණය වන අයුරුද ඒ හා සම්බන්ද තව බොහෝ කරුණුද මනාව විස්තර කර ඇත.) එසේ තැන්පත් වී, එම ඇහිරුණු රුධිර නාල ඔස්සේ රුධිරය පොම්ප කිරීමේදී අධිරුධිර පීඩනය ආදී තත්ත්වද ඇතිවේ.

මෙසේ තැන්පත් වූ ද්‍රව්‍ය ඉවත් කිරීම පමණක් නොව එම තැන්වීම් ඇති වන හේතු වලක්වා අග්නි ක්‍රියාකිරිත්වය ඉහල නන්වා ඒවා නැවත තැන්පත්වීම් වලක්වන, එසේම අතුරු ආබාධ වලින් තොර විශිෂ්ඨ ගණයේ ස්වභාවික ප්‍රතිකාර ක්‍රම වලින් ආයුර්වේද හා දේශීය වෛද්‍ය  විද්‍යාව  බොහෝ පොහොසත්වේ. එය බටහිර ප්‍රතිකාර වලට වඩා සංකීර්ණ හා එහා ගිය තත්වයකි. මේ සඳහා වෛද්‍ය සිද්ධාන්ත ක්‍රමාණුකූලව නිසිලෙස ගැඹුරින් හැදෑරු මෙන්ම විශිෂ්ඨ ප්‍රායෝගික පුහුණුවකින් යුතු හා රෝගියා ගැන සානුකම්පිතව දැකිය හැකි මධ්‍යස්ථ ආකල්ප සහිත වඩා හොද මානසික ගුණයකින් යුතු වෛද්‍යවරු කරා යොමු වීම රෝගියා විසින් සිදුකල යුතුය.එවිට ඉහත  පෙෂර්,කොලෙස්ටරෝල් ,මුත්‍රා ගල් වලට දීර්ඝ සුවය ලබාගත හැකිය.

 

            ිංහල බෙහෙත් බීවාම වකුගඩු නරක් වෙනවා

කිසිසේත්ම නැත. කිසිදු පිළිගත හැකිලෙස කළ පර්යේෂණයකින් එසේ ඔප්පු වී නොමැත,මෙය පදනම් විරහිතව මෙම වෛද්‍ය ක්ෂේත්‍රය කෙරෙහි ද්වේෂ සහගතව සමාජගතකිරීමට උත්සාහ කරන මතයක් සේ හැගී යයි.එසේ වකුගඩු හානි නොවීමට හේතු කිහිපයකි....

මෙම ඔෂධයෝග ඝෘෂිවරුන් විසින් මෙලොවට දායාදකළ ඒවා වීම (ඍෂිවරයෙකු යනු සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා ඉහළ ලෙස බුද්ධිමත් උතුමන් වේ. සෘෂිවරුන් විසින් වසර දහස් ගණනකට පෙර මනස දියුණු කර ලබා ගත් දැනුම, විද්‍යාව තාක්ෂණය මෙතරම් දියුණු වූවද අභියෝගයට ලක් කිරීමට හැකි වී නොමැති අතර සිදුවී ඇත්තේ එම සෘෂි දැනම පදනම් කරගෙන තවතවත් දියුණුවීම් හා වෙනමම ක්ෂෙත්‍රයන් ඔස්සේ නව සොයාගැනීම් හා දියුණුවීම් බිහිවීමය.සාමාන්‍යයෙන් නවීන වෛද්‍ය විද්‍යාත්මක දැනුම හා ආයුර්වේදය සම්බන්ධව සෘෂි උතුමන් පෙන්වා දුන් දැනුම, සංස්කෘත බස ආදී සියල්ල පිළිබදව ලංකාවේ අධ්‍යාපන රටාව තුල විශ්වවිද්‍යාල මට්ටමේ ගැඹුරු අධ්‍යනයන් සිදුකරනුයේ BAMS වෛද්‍ය උපාධියට හා ඉන් ඔබ්බට එම ක්ෂෙත්‍රයේම පශ්චාත් උපාධි අවස්ථා වලදී පමණි.) ඒවා සාමාන්‍ය විද්‍යාඥයන් පවසන දේවලට වඩා පිළිගැනීමට පිළිවන .මන්ද යත් වසර දහස් ගණනකට පෙර ඔවුන් ලියූ දැනුම අද පවතින විද්‍යාවන් සමග සසදන විට අද තරම් මෙම විද්‍යාවන් දියුණු නොවූ හා දියුණු විද්‍යාත්මක මෙවලන් නොමැති අවධියක මනසින් කළ වික්‍රමය සිතා ගැනීමට පවා අපහසුය.

තවද ඒවා අද වනවිට වසර දහස් ගණනක් භාවිතා වී ඇත.එම නිසා අහිතකර තත්ත්වයන් භවිතයෙන් ඉවත්ව ගොසිනි.එය වසර 12 ක් හෝ ජීවිත කාලයක් පර්යේෂණ  කළද ලබාගත නොහැකි දැනුමකි.

එම ඔෟෂධයෝග බොහොමයක්ම ස්වභාවික ශාක ඖෂධ වේ. රස ඖෂධ (රසායන ඖෂධ-විශේෂයෙන් පොළොවෙන් ලබා ගන්නා ඛණිජ ද්‍රව්‍ය වලින් සමන්විතය) භාවිත කරන විටද ඒවා ශෝධන මාරන (ඒවායේ විෂ ඉවත්කර පිරිසදු කරන ක්‍රම ) කරන ක්‍රමවේද ද බොහෝවිටම ස්වභාවික ද්‍රව්‍ය භවිතයන් වේ.

හොදම සුවකිරීමේ හැකියාව ශාක ඖෂධවල පවතින බව  බටහිර වෛද්‍ය විද්‍යවේ පියා ලෙස සැලකෙන හිපෝක්‍රිටස් පවා පිලිගනී.

මෙම කරුණු සියල්ලම සැලකූ කල පදනම් විරහිත මෙම මිත්‍යාව තේරුම්ගත හැක. නමුත් අවධාරණය කල යුත්තේ රස ඹෟෂධ නිසිපරිදි ශෝධන මාරණ කල යුතු අතර ඹෟෂධ නිසි මාත්‍රාවෙන් සුදුසුකම් ලත් වෛද්‍ය වරයෙක් නියම කරන ලෙස හාවිතා කළයුතු බවයි.එසේ නොවන විට ගැටළු ඇතිවිය හැකි සේම අහිතකර වීම්ද සිදුවිය හැකිය. ( මෙම  කරුණු ද ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සදහන් වේ.)  එනම් වෛද්‍යවරයාගේ සුදුසුකම් හා හැකියාවන් මෙන්ම ඖෂධවල ප්‍රමිතිය හා මාත්‍රාවද රෝගියා කෙරෙහි ඉතා වැදගත් වේ.

 

            උණට සිංහල බෙහෙත් නෑ

උණට ඕනැතරම් සිංහල බේත් තිබේ.බටහිර වෛද්‍ය විද්‍යාව අනුව "උණ " යනු රෝග ලක්ෂණයක් වේ.නමුත් ආයුර්වේද වෛද්‍ය  විද්‍යාවට අනුව උණ රෝගයක් ලෙස ඉතා දීර්ඝ විස්තර අඩංගුවේ. ආයුර්වේද වෛද්‍ය ව්ද්‍යාව රෝගියාගේ හා ⁣රෝගයේ බොහෝ ලක්ෂණ සලකා බලා ප්‍රතිකාර කරන වෛද්‍ය ක්‍රමයක් (holistic medical system) නිසා ඒ ඒ තත්ත්වයට ගැලපෙන ආකාරයට සාර්වසර සිද්ධාන්ත රාමුවක් තුල ගොඩනැගී ඇත. මෙහිදී වැදගත් වන්නේ ක්‍රමාණුකූලව වෛද්‍යකර්මය හැදෑරූ අත්දැකීම් බහුල දක්ෂ රෝගීන් කෙරෙයි දයානුකම්පාවෙන් යුක්ත මධ්‍යස්ථ ආකල්ප සහිත වෛද්‍යවරුන් වෙත යොමු වීමයි.
උණ නොවන වෙනත් රෝගයක් සදහා ආයුර්වේද  හා දේශීය  ප්‍රතිකාර ගමින් සිටියදී උණ හැදුනා කියා සමහර රෝගීන් තමන්ම එම ප්‍රතිකාර නවතා වෛද්‍යවරයා පවා දැනුවත් නොකර උණට වෙනත් ප්‍රතිකාර සදහා යොමුවන්නේ කරුණු හරිහැටි තේරුම් නොගෙන වන අතර ඉන් අවාසිදායක වන්නේ රෝගීන්ටමය. මන් නිසාද යත් කුසලතා පරිපූර්ණ මෙම ක්ෂෙත්‍රයේ වෛද්‍යවරුන්ට එම තත්ත්ව සියල්ලටම ක්‍රමාණුකූලව ප්‍රතිකාර කළ හැකිසේම තවත් නවීන පහසුකම් අවශ්‍යවිට ආයුර්වේද  උපාධිධාරී වෛද්‍යවරුන්ට ඒ සදහා යොමු කිරීමේ හැකියාවද පවතින නිසාය.

 

          සිංහල බෙහෙත් ගන්න ගියාට රෝග හදුනා ගන්නෑ

ආයුර්වේද හා දේශීය වෛද්‍ය  විද්‍යාවේදී වෙනමම රෝග වර්ගීකරණයන් හා නාමකරණයන් පවතී. ඒවා බටහිර වෛද්‍ය විද්‍යාවේ රෝග වර්ගීකරණය හා නාමකරණය හා 100% ක් සමපාත නොවේ.නමුත් ලක්ෂණයන් අනුව ආසන්න වශයෙන් සමානතා හදුනාගත හැකිය. ආයුර්වේද හා දේශීය වෛද්‍ය ක්‍රමයේදීි වලදී චිකිත්සාව හෙවත් ප්‍රතිකාර සාර්ථකවන්නේ ඊටම අදාල රෝග වර්ගීකරණය හා නාමකරණය තුළය.හොදින් ශාස්ත්‍රය ප්‍රගුණකළ පළපුරුදු  වෛද්‍යවරයා ඒ අනුව කටයුතු කරන අතර විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළදී බටහිර වෛද්‍ය ක්‍රමය හා සංසන්දනාත්මක අධ්‍යනයන් සිදුකරන BAMS උපාධිධාරී වෛද්‍යවරුන්හට බටහිර වෛද්‍ය ක්ෂේත්‍රය අනුවද මේ හදුනා ගැනීම් කිරීමට හැකියාව පවතී.

 

සිංහල වෛද්‍යවරුන්ට ලෙඩ ගැන වැඩියෙ තේරෙන් නෑ...ඒක  නිසා බෙහෙත් ගන්න බයයි...

නිසි පුහුණුවීම් කළ සුදුසුකම් ලැබූ නිරන්තරයෙන් වෛද්‍යකර්මය ප්‍රගුණකරන දේශීය වෛද්‍යවරයා මෙහි සමර්ථයෙකි.ඒ නිසා බුද්ධිමත් ජනතාව මෙය තේරුම් ගෙන නිසි වෛද්‍යවරයා වෙත යොමුවේ.

 

           මට ගැලපෙන බෙහෙත මමම කියලා ඉල්ල ගන්න ඕනෙ

මෙසේ සිතන්නේ මෙම වෛද්‍ය ක්‍රම ගැන හෝ වෛද්‍යවරු ගැන කිසිදු  දැනීමක් නොමැති අනවබෝදයෙන් යුත් පුද්ගලයන් ය යන්නය අ⁣පගේ අදහස.නමුත් තමාට නොගැලපෙන ආහාර හා හැසිරීම් ද දන්නේ නම් ඹෟෂධ ද වෛද්‍යවරයාට කීම වටී. මෙම වෙද්‍යක්‍රමය ගැනත් වෛද්‍යවරුන් ගැනත් සමහරු බොහොම සරලව සිතාගෙන සිටීම නිසා මෙවැනි තත්ත්වයන් ඇතිවේ.

 

            මට ඔළුව රිදෙනවා තෙල් ටිකක් දෙන්න

යම් රෝගියෙක් දේශීය  වෛද්‍යවරයෙකු හමුවේ මෙ⁣සේ පවසන්නේ බොහෝ විටම එම රෝගියාගේ දේශීය වෙද්‍ය ක්‍රමය පිළිබදව අැති හීනමානය නිසාය.


තුවාල වලට සිංහල බෙහෙත් තියෙනවායෑ
, මගෙ තුවාලෙ කොච්චර බෙහෙත් දැම්මත් හොද වෙන්නෑ

බොහෝ අය නොදැන සිටියත් වඩා හොද වෘණ රෝපන බෙහෙත් ආයුර්වේද හා දේශීය වෛද්‍ය විද්‍යාව සතුවේ. ප්‍රතිජීවක ඔෟෂධ මගින් පාලනය කළ නොහැකි කල් ගතවූ සුව නොවන තුවාල සදහා බොහෝ ක්‍රියාකාරි ඔෟෂධ ආයුර්වේද හා දේශීය වෛද්‍ය විද්‍යාව තුල ඇතත් බොහෝ රෝගීන්හට ඉන් ප්‍රයෝජන ගැනීමට දැනුවත් බවක් හෝ ආකල්පයක්⁣ හෝ පෙනෙන්නට නොමැත.අද ලෝකයේ කාර්මීකරණයෙන් හා මිළ මුදලින් පොහොසත් රටවල මිනිසුන් නොයෙක් ස්වභාවික හා ජෛවීය ප්‍රතිකාර කරා යොමුවෙමින් පවතී. දැනට කල්ගත වූ තුවාල සුවකිරීමට එවැනි ලෝකයේ දියුණු රටවල වේගයෙන් ජනප්‍රියවන තුවාල සුවකිරීමේ ක්‍රමයපක් වන Maggot  therapy දැනට වසර 3000 පමණ පෙරදී ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ හාවිත දැනටත් ආයුර්වේද ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ හාවිතවන ක්‍රමයකි. (ආයුර්වේද මූල ග්‍රනථයක් වන සුශැත සංහිතාවේ මේ කරුණු අඩංගු අතර ලෝකයේ ශල්‍යවෛද්‍ය විද්‍යාවේ පියාවන සුශැත සෘෂිතමා විසින් දැනට වසර 3000 කට පමණ පෙර සංස්කෘත හාෂාවෙන් ලියන ලද මෙය අදවනවිට සිංහල ඉංග්‍රීසි ඇතුළු ලෝකයේ නොයෙක් භාෂා වලින් මුද්‍රණය  කර ඇත.) මෙහිදී විශේෂිත මැස්සෙකුගේ කීටයෙක් තුවාල මතට විශේෂිත සැරහුමක් මගින් යොදන අතර එම කීටයන්ගේ ක්‍රියාකාරිත්වය හමුවේ තුවාල⁣යේ මැරුණු පටක ඉවත් කිරීමත් ප්‍රතිජීවක මගින් පාලනය කළ නොහැකි විෂබීජ ඉවත් කිරීමත් සිදුවේ.අද මෙම මැසි කීටයා නොයෙක් සමාගම් මගින් රසායනාගාර තුළ බෝකර අලවි කරයි. ආයුර්වේද  වෛද්‍ය ක්ෂේත්‍රයේ දැන උගත් වෛද්‍යවරුන් , විශේෂයෙන් ආයුර්වේද ශල්‍ය විශේෂඥයින් මගින් මෙම ප්‍රතිකාර ලබාගත හැක.

පාසල් සිසුන්,ගුරුවරුන් හා උසස් පෙළ සිසුන් සදහා දැනුවත් වීමට

නවීන වෛද්‍ය ක්‍රම හා විද්‍යාත්මක දැනුම ඇති යුගයක ආයුර්වේදයේ වැදගත්කම පිළිබද ගවේෂණාත්මක විග්‍රහය

Exploratory analysis of the importance of Ayurveda in an era of modern medicine and scientific knowledge

Download Cover Page Here
Download Pre-Book Page Here


ඔබ දැනගත යුතු වැදගත් කරණු.........

ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූලව පිළිගත් වෛද්‍ය ක්ෂේත්‍ර 03 ක් හා  එම එක් එක් වෛද්‍ය ක්ෂේත්‍රයට අයත් වෛද්‍යවරුන්ද වේ. එනම්,
  1. බටහිර වෛද්‍ය ක්ෂේත්‍රය
  2. ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය
  3. හෝමියෝපති වෛද්‍ය ක්ෂේත්‍රය
 
         එම වෛද්‍ය ක්ෂේත්‍ර වලට අදාළව වෛද්‍ය සභා 03ක් පවතින අතර එම වෛද්‍යවරුන් අදාළ වෛද්‍ය සභාවේ ලියාපදිංචි වී සිටිය යුතුයි. (මෙහිදී සිද්ධ, යුනානි හා පාරම්පරික වෛද්‍යවරුන්ද ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයට අයත් ආයුර්වේද වෛද්‍ය සභාවේම ලියාපදිංචි වේ. ) ශ්‍රී ලංකාව තුල ප්‍රතිකාර කිරීමට නීත්‍යානුකූල බලය ඇත්තේ අදාළ වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලැබූ වෛද්‍යවරුන්ට පමණි.
 
        මේ අනුව ඔබ ප්‍රතිකාර ලබා ගන්නා ආයුර්වේද හෝ දේශීය වෛද්‍යවරයාද සුදුසුකම් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයකු විය යුතු වේ.
            ශ්‍රී ලංකාවේ ආයුර්වේද හා දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට අයත් වෛද්‍යවරුන් පහත පරිදි ඔබට හදුනාගත හැක.
පාරම්පරික වෛද්‍යවරුන්-
              තම පරම්පරාවේ වෛද්‍ය දැනුම හා අත්දැකීම් අනුව ප්‍රතිකාර කරයි. මෙම වෛද්‍යවරුන්ද      සර්වාංග හා විශේෂ ලෙස දෙවර්ගයකි.
සර්වාංග වෛද්‍යවරුන්-
මුළු ශරීරයේම ලෙඩ සඳහා ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ය.
විශේෂ වෛද්‍යවරුන් -
ශරීරයේ එක් ලෙඩ කාණ්ඩයක් සඳහා පමණක් ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ය. මොවුන්ට එම ලෙඩ කාණ්ඩයට පරිබාහිර වෙනත් ප්‍රතිකාර නීත්‍යානුකූලව කල නොහැක.‍
උදා: කැඩුම් බිදුම් විශේෂ, චර්ම රෝග විශේෂ, පීනස් රෝග විශේෂ, ගෙඩි වණ විශේෂ
 
ඩිප්ලෝමාධාරි වෛද්‍යවරුන්-
              ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පිලිබඳව ඩිප්ලෝමාවක් හදාරා සර්වාංග රෝග සඳහා
  ප්‍රතිකාර කරයි. මෙම පාඨමාලාව සඳහා ඉගැන්වීම් කරන විද්‍යාල ශ්‍රී ලංකාව පුරා ඇත.
 
උපාධිධාරී වෛද්‍යවරුන්-
              ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පිලිබඳව වසර හයක “ආයුර්වේද වෛද්‍යවේදී සහ ශල්‍යවේදී උපාධිය” ( Bachelor of Ayurveda Medicine & Surgery – B.A.M.S.)  හදාරා සර්වාංග රෝග සඳහාම ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ය. ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ආයුර්වේද රෝහල්වල සේවය සඳහා බඳවා ගනු ලබන්නේ මෙම උපාධිධාරී වෛද්‍යවරුන් පමණි.
                                                මෙම වෛද්‍ය උපාධිය ශ්‍රී ලංකාවේ දී ලබාගත හැක්කේ උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් ( ජීව විද්‍යාව, රසායන විද්‍යාව හා හෞතික විද්‍යාව) හදාරා අදාළ වර්ෂයට අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබ, කොළඹ හා කැළණිය විශ්වවිද්‍යාල වලින් පමණි. මීට අමතරව ඉන්දියාවේ විශ්වවිද්‍යාල වලද මෙම වෛද්‍ය උපාධිය හැදෑරිය හැකිය.
                                                මෙහිදී ආයුර්වේද වෛද්‍ය විද්‍යාවත්, දේශීය වෛද්‍ය විද්‍යාවත් හා බටහිර වෛද්‍ය විද්‍යාවත් සංසන්දනාත්මකව අධ්‍යනය කරන අතර, මෘත ශරීර විච්ජේදනය, විද්‍යාගාර පරීක්ෂණ, ශික්ෂණ රෝහල් සායනික කටයුතු, ඹෟෂධ නිෂ්පාදනය සහ නීති වෛද්‍ය විද්‍යාව හා සංස්කෘත භාෂාව ආදිය ද හැදෑරිය යුතුය.
විශේෂඥ / විශ්වවිද්‍යාල උපදේශක වෛද්‍යවරුන්-
                ආයුර්වේද වෛද්‍යවේදී සහ ශල්‍යවේදී උපාධිය හැදෑරීමෙන් පසු එක් ක්ෂේත්‍රයක් පිළිබඳව (ශල්‍ය වෛද්‍ය , ප්‍රසව හා නාරිවේද, ළමා රෝග, කාය චිකිත්සා ආදී වශයෙන්) අවම වශයෙන් වසර තුනකවත් විශ්වවිද්‍යාල පශ්චාත් උපාධියක් { M’phil, MD (Ayur), MS (Ayur) }  හැදෑරූ විශේෂඥ දැනුමෙන් යුතු වෛද්‍යවරුන්ය.
 
මහාචාර්යවරුන්-
               ආයුර්වේද වෛද්‍යවේදී සහ ශල්‍යවේදී උපාධිය හා පශ්චාත් උපාධියක්  හැදෑරීමෙන් පසු අදාළ විෂය
   ක්ෂේත්‍රය පිළිබඳව තවදුරටත් විශ්වවිද්‍යාල මට්ටමෙන් අධ්‍යනයන් සිදුකල වෛද්‍යවරුන්ය.
              ශ්‍රී ලංකාවේ ආයුර්වේද හා දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ උපාධිධාරී වෛද්‍යවරුන් අඩුය. විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රමාණය බොහෝ අඩු අතර මහාචාර්යවරුන් ඊටත් වඩා අඩු ප්‍රමාණයක් සිටී. බොහෝවිට මෙම විශේෂඥ වෛද්‍යවරුන් හා පාරම්පරික විශේෂ වෛද්‍යවරුන් පිලිබඳව ශ්‍රී ලංකාවේ ජනතාව නිවැරදිව හදුනාගෙන නොමැති බව පෙනී යයි.
           ඔබගේ ආයුර්වේද හා  දේශීය වෛද්‍යවරයා පිළිබදව ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සභාවේ නිළ වෙබ් අඩවිය වන  http://www.ayurvedicmedicoun.gov.lk  මගින් සොයා බැලිය හැක.
Languages Translator