ශ්‍රී ලංකාවේ වෛද්‍ය ඉතිහාසයෙන් බිඳක්
රෝගීන් රාශියකට පහසුකම් සහිතව නේවාසිකව ප්‍රතිකාර ගත හැකි රෝහල් සංකල්පය ශ්‍රී ලංකාවේ ක්‍රි.පූ. සිව්වැනි සියවස තරම් දුරාතීතයේ පණ්ඩුකාභය රජුගේ රාජ්‍ය සමයේදී හඳුනාගත් බවට මහාවංශය සාක්ෂි දරයි. මෙය ගෞතම බුදුරජාණන් වහන්සේ හරහා පැමිණි සංකල්පයක් යැයි සැලකේ. ඇසිරියාව, බැබිලන් හා මුල් කාලයේ දී ඊජිප්තුවේද ආයුර්වේදයටත් වඩා ඔවුන්ගේ පැරණි වෛද්‍ය ක්‍රම පැවතුණද රෝහල් පැවති බවට සාක්ෂි නැත. චීනයටද රෝහල් තිබී නැත. මෙම රෝහල් ඇතිකිරීමේ අදහස බුරුමය, සියම හා ලංකාව වැනි බෞද්ධ රටවල සිට යුරෝපයටද පැතිර ගියේය. තවද බ්‍රිතාන්‍ය ශල්‍ය වෛද්‍ය සඟරාවට අනුව ලංකාව හා බුරුමයේ සෑම තැනම රෝහල් පැතිර ඇති බවට පෙනේ. බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාවට අනුව “රෝහල් සංකල්පය ගැන ගෞතම බුදුරජාණන් වහන්සේට හා උන්වහන්සේගේ අනුගාමිකයින්ට අපි ණය ගැති වෙමු ”ලෙස අදහසක් දැක්වේ.
ශ්‍රී ලංකාවේ රෝහල් ඉදි වූ ආකාරය පිළිබඳව සී.ජී. ඌරාගොඩ වෛද්‍යතුමාගේ (බටහිර වෛද්‍යවරයෙකි.) “A HISTORY OF MEDICINE IN SRI LANKA” නම් ඉංග්‍රීසි භාෂාවෙන් රචිත ග්‍රන්ථයෙහි, “ශ්‍රී ලංකාවේ වෛද්‍ය ශාස්ත්‍ර ඉතිහාසය” නමින් ආයුර්වේද වෛද්‍ය ටී.එස්.ද.එස්. ගුණවර්ධන වෛද්‍යතුමා සිංහලයට පරිවර්තනය කළ ග්‍රන්ථයේ ප්‍රථම භාගයේ (1994 ප්‍රථම මුද්‍රණය) 39 වෙනි පිටුවේ මෙසේ සඳහන් වේ.
” IV වැනි මහින්ද රජුගේ (ක්‍රි.ව.956-972) පුත්‍රයා විසින් ගිහියන් සඳහා අනුරාධපුරයේ රෝහලක් තැන වූ බව සඳහන් වේ. (චූලවංශය 54, 53) කෙසේ වෙතත්, භික්ෂූන් සඳහා රෝහල් ඉදිවූ බවට මහා වංශයේ විශේෂ සඳහනක් නොමැතත එහෙත් ආශ්‍රමයක් වූ මිහින්තලයේ රෝහලක් තිබිණි; “චේතිය කන්දෙහි II වැනි සේන රජු (ක්‍රි.ව.851-885) රෝහලක් ඉදි කළේය.” (චූල වංශය 51. 73)
ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරයේ ස්වර්ණ සමය තුළදී අනුරාධපුරය සහ පොළොන්නරුව එහි පිළිවෙලින් පැවති අගනුවරවල් වූ නිසා වෛද්‍ය ආයතන පිහිටුවීමෙන් ඒවාට විශේෂත්වයක් ලැබිණි. පණ්ඩුකාභය සහ V වැනි කාශ්‍යප රජවරුන් (ක්‍රි.ව.913-923) විසින් අනුරාධපුරයෙහි එවැනි ආයතන ඉදි කරන ලදී. I වැනි උදය රජුගේ (ක්‍රි.ව.792-797) මහා දායානුකම්පාව නිසා ඔහු පුලස්ති නගරයෙහි (පොළොන්නරුව) රෝගීන් සඳහා විශාල ශාලාවක් ඉදි කළේ ය. (චූල වංශය 49. 19)
විවිධ රජවරුන් විසින් නොයෙක් කාලවලදී විශේෂිත රෝහල් ඉදි කරන ලදී. බුද්ධදාස (ක්‍රි.ව.362-409), (ම.ව.37,148) ධාතුසේන (ක්‍රි.ව. 460-478) II උපතිස්ස, (ක්‍රි.ව. 522-524) සහ I උදය, යන රජවරුන් විසින් කොරුන් සඳහා ආයතන ඉදිකරන ලදී. බුද්ධදාස සහ II උපතිස්ස යන රජවරු අන්ධයින් සඳහාද රෝහල් ඉදිකළහ. ප්‍රථම මාතෘ නිවාසය පිහිටුවන ලද්දේ II උපතිස්ස රජ විසින් විය හැකිය. (ම.ව. 27.182) වසංගත රෝගයක් වු “උපසග්ග” රෝගයට එරෙහිව IV වෙනි කාෂ්‍යප රජ (896-913) විසින් අනුරාධපුරයෙහි සහ පොලොන්නරුවෙහි රෝහල් ඉදිකරන ලදී. මෙහි අර්ථ නිරූපනය නිවැරදි නම් මේවා ශ්‍රී ලංකාවේ ප්‍රථම බෝවෙන රෝග රෝහල් විය.
පණ්ඩුකාභය (ක්‍රි.පූ. 394-307) රාජ්‍ය සමයෙහිදී “රෝග වලින් සුවය ලබන්නන් සඳහා ශාලාවක්” අනුරාධපුරයේ විය. ක්‍රි.පු. 3 වැනි සියවස තරම් දුරාතීතයේ පවා රෝගෝපසම නිවාස පිහිටුවා තිබීම මවිතයට කරුණකි. සමාජ-ආර්ථීක හේතු නිසා නිවසේ තිඛෙන දුෂ්කරතා හේතුකොටගෙන වාට්ටුවල තදබදය ඇති කරමින් රෝහලෙන් පිටවී යාමට සුදුසු රෝගීන් දිගටම රෝහලේ නැවතී සිටීම සායනිකයින්ට මෙන්ම රෝහල් පාලකයින්ටද එකසේ මුහුණු පෑමට සිදු වී තිඛෙන වර්තමාන ගැටළුවට තිඛෙන පිළිතුර මෙම සංකල්පය වනු ඇත.”
ඉහත ග්‍රන්ථ ගත තොරතුරු අනුව පෙනීයන්නේ ශ්‍රී ලංකාව තුළ බටහිර වෛද්‍ය ක්‍රමය නොතිබුණු ඈත අතීතයේ දී ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව ප්‍රතිකාර කළ රෝහල් පැවති බවටයි. ඒ බව ඉදිරි විස්තර වලදී තවදුරටත් පැහැදිලි වනු ඇත. මෙම රෝහල් වලින් මිහින්තලේ, මැදිරිගිරිය හා පොළොන්නරුවේ ආලාහන පිරිවෙන යන ආශ්‍රමවල පිහිටුවන ලද රෝහල්වල ගොඩනැගිලිවල නටඹුන් අද ද දක්නට ලැබේ. එම ස්ථාන වලින් හමු වූ ඛෙහෙත් ඔරු, පැරණි ඖෂධ ව්‍යවහාරවලට අදාළ ශිලාලේඛන හා වෙනත් උපකරණ මගින් ඒවා රෝහල් බව තහවුරු වී ඇත.
එම මිහින්තලේ, මැදිරිගිරිය හා පොළොන්නරුව රෝහල් පිළිබඳව කෙටි විස්තරයක් මෙහි ඉදිරියෙන් සඳහන් වේ.
මිහින්තලේ රෝහල
මිහින්තලේ රෝහලේ නටඹුන්
ක්‍රි.ව. නව වැනි සියවසේ දී ඉදිකරන ලද මෙය ලෝකයේ පැරණිතම රෝහල යැයි දැනට සැලකේ. (හීන්ස් ඊ මලර් – ඩයට්ස්, හිස්ටරියා, හොස්පිටලියම් – 1975) මෙම රෝහල II වැනි සේන රජු විසින් හෝ IV වැනි මහින්ද රජු (ක්‍රි.ව. 956 – 972) විසින් ඉදිකළ බවට මත දෙකකි. පළමු මතයට තුඩු දෙන්නේ IV වැනි මහින්ද රජු “චේතිය කන්දෙහි” රෝහල් ඉදිකළ බවට මහාවංශයේ සාකෂියයි. දෙවැනි මතයට ඇතැම් වක්‍ර ශිලාලේඛන සාකෂි තිබේ.
මෙය පිටත හා ඇතුළත අංගනයකින් යුක්තය. ඖෂධ නිෂ්පාදනය හා ගබඩා කිරීමට යොදාගත් කාමර ද, දානශාලාව ද, උණු දිය නාන භාජන සහිත කාමර ද, දොරටු පාලයාගේ කුටිය සහිත ප්‍රධාන දොරටුව ද පිටත අංගනයෙහි විය. නාන උණුදිය භාජනයට ප්‍රධාන ඔරුවක් තිබිණි. එය ද අද නානකාමරවල තිඛෙන “Bathtab” නම් නානකාමරවල ඇති පුද්ගලයෙකුට බැස නා ගත හැකි විශාල බේසම්වලට අනුරූපය. ඖෂධ පිළියෙල කරන කාමර අසල ඇඹරුම් ගල් තිබිණි.
මිහින්තලේ රෝහලේ ඛෙහෙත් ඔරුව
මිහින්තලේ රෝහලේ ඛෙහෙත් දැමීමට භාවිතා කළ බරණි
ඇතුළත අංගනයෙහි වටේට චතුරස්‍රාකාර කාමර හෝ කුටි කිහිපයක් විය කෙළවර කාමර හතර අනික් ඒවාට සාපේකෂව විශාල විය. සමහර විට කුඩා කාමර රෝගී වූ භිකෂූන් වහන්සේලාට ඉඩ පහසුකම් ලබාදුන්නා විය හැක. මෙම කාමර ආලින්දයකට විවෘත විය. ඒ සියල්ල ප්‍රධාන අංගනයට මුහුණලා තිබිණි. එහි මැද විහාරයක් ද විය. ආගමික කටයුතු එහි සිදුකරන්නට ඇත. මෙය රෝගීන්ගේ මානසික සුවයට අස්වැසිල්ලක් වන්නට ද ඇත. යම් කිසි පොදු කාර්යයන් සඳහා යොදාගන්නට ඇතැයි සැලකෙන විශාල කාමර වලින් එකක ඛෙහෙත් ඔරුව තිබිණි. (ඛෙහෙත් ඔරු ගිල්ලූම් චිකිත්සා වලට යොදා ගන්නා බව ආයුර්වේදයේ සඳහන් වේ. එහි දී සම හරහා ඖෂධ ද්‍රව්‍ය සිරුරට ඇතුළු වේ.)
වෛද්‍යමය වැදගත්කමක් ඇති මිහින්තලේ පිහිටි ශිලාලේඛන දෙකක් ඇත. ඉන් එකක තොරතුරු අනුව පැහැදිලි වන්නේ එකල අතුරු වෛද්‍ය සේවාවක් ක්‍රියාත්මක වූ බවයි. මක් නිසාද එහි එක් එක් සේවාවල වැටුප් සඳහන් වේ. එහි දී වෛද්‍යවරුන්ගේ වැටුපට වඩා අඩු වැටුපක් කූඩැල්ලන් යොදන වෛද්‍යවරුන්ට නිර්දේශිතය. (කූඩැල්ලන් යෙදීම ආයුර්වේදයේ දී දූෂිත රුධිරය ඉවත් කිරීමට යොදන චිකිත්සාවක් වේ. මෙහි දී මේ සඳහා විශේෂ කූඩැල්ලන් තෝරා ගන්නා අතර ඒ සඳහා නියමිත ක්‍රමවේදයක් ද වේ.) එම නිසා එය අතුරු වෛද්‍ය සේවාවක් ලෙස සිතිය හැක. අනික් ශිලා ලේඛනයෙහි ආරාමය සඳහා නීතිරීති දැක්වේ. “වෛද්‍ය නිර්දේශ අනුව රෝගී භික්ෂූන්ට ආහාර දිය යුතු බව” ඉන් එක් නීතියකි.
මැදිරිගිරිය රෝහල
මැදිරිගිරියේ රෝහලේ නටඹුන්
මැදිරිගිරිය වටදාගෙය ආශ්‍රිතව සියවස් ගණනාවකට පෙර රෝහලක් පැවති බවට ශිලාලේඛන සාක්ෂි තිබේ. එය මෙතෙක් ශ්‍රී ලංකාවේ සොයාගෙන ඇති දෙවැනි පැරණිම රෝහල ලෙස සැලකේ. වටදාගෙයට කිලෝමීටර් 0.5ක් පමණ දුරින් පිහිටි ගල් කණු සහිත ගොඩනැගිල්ලක නටඹුන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්‍ෂණය කර ඇති අතර එය මෙම රෝහල ලෙස සලකයි. මෙම වටදාගෙට නුදුරින් ගල්ඛෙහෙත් ඔරුවක් ද හමු වී ඇත. මේ රෝහල පිළිබඳව සඳහන්ව ඇති එක් එක් ශිලාලේඛන සාකෂිවලට අනුව පහත සඳහන් කරුණු ඉදිරිපත් කළ හැකිය.
1907 දී සොයාගත් මැදිරිගිරිය ගල්ලෑල්ලක වූ ශිලා ලේඛනය අනුව, (මෙය රෝහල් පරිපාලනය සඳහා නීති ඇතුළත් වූ නියෝග ගලක් ලෙස සැලකේ.)
@ රෝහල පවත්වාගෙන යෑමේ වගකීම රජුගේම සේවකයින් සහිත ආයතනයකට හෝ කාර්යාලයකට පවරා තිබිණි. රෝහල් සේවකයින්ට ඔවුන් ලවා වැඩකරවා ගැනීම තහනම් විය.
@ රජුවිසින් රෝහලට පරිත්‍යාග කරන ලද ඉඩම් සහ ගම්වල ආදායමින් රෝහල් නඩත්තු වූ අතර රෝහල් දේපළ එහි සේවකයින් විසින් අයුතු ලෙස අත්කර ගැනීම වැළැක්වීමට නීති එහි විය. රෝහල් නිළධාරියකු යම් වංචාවක් කළ විට වර්තමානයේ මෙන් වෛද්‍යවරු හා අනික් නිළධාරීන් එක්ව පරීකෂණ පවත්වා එම වරද ඔප්පු කරයි. (දඩුවම් නියම කිරීමට)
@ වෛද්‍යවරුන්, අනිකුත් නිළධාරීන් හා සේවකයින් ද වැරදි කළ විට සේවයෙන් පහකිරීමේ දඩුවමට යටත්වේ.
@ රජමාලිගයේ අධිපතිවරු අවුරුදු පතා රෝහලේ කටයුතු විමර්ශනය කරන ලදී.
@ රෝගීන්ට කරදර වන ආකාරයට ශබ්ද ඇතිවන ලෙස සංගීත භාණ්ඩ වාදනය, මත්පැන්බීම ආදිය රෝහල් සීමාවේ තහනම් විය.
1897 දී මැදිරිගිරියෙන් සොයාගත් V වැනි කාෂ්‍යප (ක්‍රි.ව.914 – 923) රජුගේ යැයි සැලකෙන තවත් සෙල්ලිපියකට අනුව
@ රෝහල ආසන්නයේ පිහිටි ගමකට දෙන ලද ඇතැම් වරප්‍රසාද සඳහන් වේ. මෙහි භික්ෂූන්ට පමණක් නොව ගිහියන්ටද ප්‍රතිකාර කර ඇත.
@ මළ එළුවන් හා කුකුළන් රෝහලට සැපයිය යුතු බව සඳහන් වේ. ඒවා නේවාසිකයින්ගේ ආහාර පිණිසය. (වර්තමානයේ රෝහල්වලට ආහාර සපයන කොන්ත්‍රාත්තු මෙන් ය)
ක්‍රි.ව.1947 දී අනුරාධපුරයෙන් සොයාගන්නා ලද II වැනි උදය රජුගේ (ක්‍රි.ව. 885 – 896) යැයි සලකන තවත් ශිලාලේඛනයක දුරින් පිහිටි මැදිරිගිරිය රෝහල ගැන සඳහන් වේ. එහි රෝහලට ඉඩම් දීම ගැන සඳහන් වෙයි. දුර තිඛෙන රෝහලක් ගැන මෙසේ සඳහන් වීමෙන් එම රෝහල එකල උසස් කීර්තියක් උසුලන්නට ඇතැයි සිතිය හැකිය.
පොළොන්නරුව රෝහල
ක්‍රි.ව.1982 වර්ෂයේ දී කැණිම් වලින් සොයාගත්, රන්කොත් වෙහෙර සමීපයේ පිහිටා ඇති මෙය මිහින්තලේ රෝහලට බොහෝ සමාන වේ.
මෙම ස්ථානයේ තිබී සොයා ගන්නා ලද ඛෙහෙත් ඇඹරුම් ගලක්, කතුරක්, ගෙඩි පැලීම සඳහා (භේදනයට) භාවිතා කළ තඹ ශෛල්‍ය උපකරණයක් හා ඖෂධ ගබඩා කිරීමට යොදාගත් පිඟන් මැටි බරණි (ඖෂධ ගබඩා කිරීමට යොදාගන්නා භාජන) වලින් ද පැහැදිලි වන්නේ එකළ රෝහල්වල කටයුතු වඩා උසස් අන්දමින් සිදු වූ බවට ඇති සාකෂිය.
දෝති වලක්නා විසින් මෙම රෝහල අරඹන ලද බවට ලංකා ශිලා ලේඛන සාකෂි දරයි. මෙය පුද්ගලික තැනැත්තෙකු රෝහල් ඉදිකළ බවට තිඛෙන දැනට හමුවූ එකම සටහන මෙය වේ. මෙම රෝහලට රජය සක්‍රියව සහයදුන් බව එහි සඳහන් වෙයි. තවද රෝහලට ආයුර්වේදයේ මහඟු ඖෂධයක් වන වියළි ඉඟුරු පෑලක් බදු වශයෙන් වසරක් හැර වසරක් සැපයිය යුතු බව මෙහි සඳහන් වේ. එසේ ඉඟුරු දීම අපහසු විට රත්රන් හුණක් දිය යුතු බව ද සඳහන් වේ.
අතීතයේ රෝහල් ගැන සඳහන් ඉහත විස්තර වලින් පැහැදිලි වන්නේ එකළ ද වර්තමානයේ මෙන් රෝහල් පරිපාලනය, අතුරු වෛද්‍ය සේවා, රෝහල් වලට ඖෂධ හා ආහාර සැපයීම, රෝහල්වල උපකරණ හා ශල්‍යකර්ම ආදිය සිදුවීම සැලකූ විට ඒවා අප රටට වර්තමානයේ බැහැරින් පැමිණි සංකල්ප නොවන බවයි.
මීට අමතරව අතීතයේ දී ලංකාවේ සෞඛ්‍ය සේවය ඉහළ ස්ථානයක තිබූ බවට පහත සාකෂිද වැදගත් වේ.
මහා වංශයට අනුව බුද්ධදාස රජතුමා වෛද්‍යකර්මය, ශෛල්‍යකර්මය සහ සූතිකාකර්මය මෙන්ම පශුවෛද්‍යකර්මයෙහි ද නිපුණයෙක් වීම.
VII වැනි අග්ගබෝධි රජතුමා (ක්‍රි.ව.766 -772) මුළු ලංකාද්වීපයේම ඖෂධ පැළෑටි රෝගීන්ට හිතකරද අහිතකරද පිළිබඳව අධ්‍යයනයක් කළේය. ලංකාවේ වෛද්‍ය පර්යේෂණ පිළිබඳව ප්‍රථම වාර්තාගත සිද්ධිය මෙය විය හැක.
වෛද්‍යකර්මයේ නිපුණ පරාක්‍රමබාහු රජතුමා ගම් හා වෙළඳ නගර සොයාගෙන රෝග සුවකිරීමට වෛද්‍ය ශිල්පයේ සුදුසුකම් ලැබූ අයට නියම කළේය. එනම් එහි අභිප්‍රාය දකෂතා සහිත පුද්ගලයින්ගේ සේවාව උපරිමයෙන් ලබාගැනීමයි.
දෙවැනි දොරබවිල ටැම් ලිපියට අනුව ප්‍රධාන වෛද්‍යවරයෙකුට දෙන ලද වරප්‍රසාද ගැන සඳහන්වේ. එය එකළ භික්ෂූන්ට දෙන ලද ප්‍රමාණයටත් අධිකය. (එය වර්තමාන සෞඛ්‍ය අමාත්‍ය තනතුරට සමාන කළ හැකි බව හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ගොඩකුඹුර මැතිතුමා සඳහන් කරයි)
ශිලා ලිපි සටහන් අනුව වෛද්‍යවරු ජ්‍යෝතිෂ ශාස්ත්‍ර කටයුතු වලද ඉගැන්වීමෙහි ද යෙදී ඇත. පරණවිතාන මැතිතුමාගේ විශ්වාසය අනුව බලන කළ මෙරට මුල්ම සෙල්ලිපිවල වෛද්‍යවරුන්ගැන සඳහන්වීම එකළ වෛද්‍ය ශාස්ත්‍ර ඉතිහාසයේ තවත් වැදගත් කරුණකි.
ආයුර්වේදයේ සඳහන් ශාක ඖෂධ බොහොමයක් දේශීයව වගාකරන ලද අතර සමහර ඒවා ආනයනය කරන ලද බවට මහාවංශයේ සඳහන් වේ.
මිහින්තලේ රෝහලෙන් සොයාගත් පර්සියානු සම්භවයෙන් යුතු නිල්පැහැති ඔපවත් බරණි දෙක ද, පොළොන්නරුව රෝහලෙන් සොයාගත් පිඟන් භාණ්ඩ කැබලි ද, රෝහල්වල ගබඩා කටයුතු සඳහා වූ භාණ්ඩ ආනයනය කළ බවට සාකෂි වේ. එම පිඟන් භාණ්ඩවල චීන අක්‍ෂර ද තිබී ඇත. එය එම භාණ්ඩ ආනයනය කරන ලද රට පිළිබඳව සටහනකි.
ද්‍රව ඖෂධ අලංකාර කලස්වල ගබඩා කළ අතර ඛෙහෙත් ගුලි සඳහා අලංකාර පෙට්ටි යොදා ගන්නා ලදී. ඒ අතර සමහර ඒවා විසිතුරු කැටයම් සහිතව ඇත් දළ වලින් නිමවා තිබී ඇත. තවද ඛෙහෙත් දීම සඳහා සඳුන් ලීයෙන් සෑදු කොප්ප තිබූ බවට සාකෂි තිබේ.
IV වැනි මහින්ද රජු (ක්‍රි.ව.956 – 972) සියළුම රෝහල්වලට ඖෂධ හා ඇඳන් ඛෙදා දුන්නේ ය.
අතීතයේ දී කැසිකිළිවල මුත්‍රා විශේෂ පෙරණ (එය වැලි තට්ටු, අඟුරු තට්ටු ආදියෙන් සමන්විත මැටි භාජනවලින් නිර්මිත පද්ධතියකින් සමන්විත විය.) ක්‍රමයකින් පෙරා පරිසරයට මුදා හැර ඇත. එසේ පෙරීමෙන් පසු එම පෙරණය (පෙරීමට ලක් වූ මුත්‍රා) සාමාන්‍ය ජලයට බොහෝ දුරට සමාන වූ බව කියවේ. එම උපකරණවල නටඹුන් ද, තවත් අතීත ශල්‍ය උපකරණ හා වෙනත් වෛද්‍ය උපකරණවල නටඹුන් ද අද අනුරාධපුරය හා පොළොන්නරුව පූජා භූමිවල පිහිටි කෞතුකාගාරවලින් දැකගත හැකිය.
තවද වෛද්‍ය ඌරාගොඩ මහතාගේ ශ්‍රී ලංකාවේ වෛද්‍ය ශාස්ත්‍ර ඉතිහාසය (පරිවර්තනයකි) නම් ග්‍රන්ථයේ 59 වෙනි පිටුවේ වෛද්‍ය උපකරණ ගැන මෙසේ සඳහන් වේ.
“පුරාණ වෛද්‍ය උපකරණ පහසුවෙන් වර්ග දෙකකට ඛෙදිය හැකිය.එනම්; ශල්‍ය කටයුතු සඳහා යොදා ගන්නා ලද උපකරණ සහ ඖෂධ පිළියෙල කිරීම, ගබඩා කිරීම සහ යෙදීම සඳහා භාවිත කරන ලද උපකරණ ද යනුවෙනි. මෙම උපකරණවලින් සමහරක් පැරණි රෝහල් බිම්වලින් හාරා ගොඩගෙන ඇති අතර, රෝහල්වලට ඒවායේ තිබුණ සම්බන්ධය නිසා ඒවායේ අනන්‍යතාවය තහවුරු කරගෙන ඇත. මෙම භාණ්ඩ වෙනත් භූමි භාගයකින් සොයා ගත්තේ නම්, ඒවායේ අනන්‍යතාවය ප්‍රශ්නයකට තුඩු දිය හැකිව තිබිණි. එනම්, ඒවා වෙනත් කටයුත්තක් සඳහා ද යොදා ගත හැකිව තිබුණ බැවිණි.,
මහා වංශයේ හමුදා වෛද්‍යකර්මය පිළිබඳව තොරතුරු සඳහන් වේ. මෙසේ තම සොල්දාදුවන්ගේ සෞඛ්‍ය රැකගැනීම සඳහා වෛද්‍ය සේවයක් ඇරඹූ මුල්ම රජතුමා බුද්ධදාස රජතුමා (ක්‍රි.ව.388 – 416) යි. වර්තමාන යුද හමුදා වෛද්‍ය සේවයේ පූර්වාංග පරාක්‍රමබාහු රජතුමාගේ රාජ්‍ය සමයෙහි. (ක්‍රි.ව.1153 -1186) තිබූ අතර ඒ පිළිබඳව ද වෛද්‍ය ඌරාගොඩ මහතාගේ ග්‍රන්ථයේ මෙසේ සඳහන් වේ.
“වර්තමාන යුද හමුදා වෛද්‍ය සේවයේ පූර්වාංග පරාක්‍රමබාහු රජතුමාගේ (ක්‍රි.ව.1153 -86) රාජ්‍ය සමයෙහි තිබිණි. පහළ බුරුමයේ පේගු ප්‍රදේශය ආක්‍රමණය කිරීම සඳහා ඔහුගේ යුද හමුදාව සමග;
“විෂ යෙදූ ඊතලවලින් සිදු වූ තුවාල සුව කිරීමට හරක් අං තුළ බහා ආරකෂා කළ විවිධ ඖෂධ මෙන්ම එරට බොහෝ වගුරු බිම්වලින් ආසාදිත ජලය පිරිසිදු කිරීම සඳහා සියළු පිළියම් ක්‍රමද, ශරීරයේ ගැඹුරට කා වැදුන විට ඉවත් කිරීමට අපහසු මිට කැඩුන ඊතල හිස් උදුරා දැමීම සඳහා යකඩ අඞුද අවසාන වශයෙන් දකෂ වෛද්‍යවරුන් සහ සේවය කරන ගැහැනුන් ද ඇතුළු සෑම දෙයක්ම අංග සම්පූර්ණව” ගෙන යන ලදී.
මානාභරණ සමග කළ සටනකදී, පරාක්‍රමබාහු, තුවාල ලත් අය වෛද්‍යවරුන්ගේ භාරයට පත් කළේය. යුද හමුදාවට බැදෙන අයගේ යෝග්‍යතාවය පරීකෂා කිරීම සඳහා ඔහු තමාගේ වෛද්‍ය පරීකෂණ ක්‍රමයක් යොදා ගත්තේ ය. ඔහු වීදියෙහි සටන් පිළියෙළ කළේය. දකෂතම අය තෝරාගෙන ඔවුන්ට උසස් තාන්න මාන්න ප්‍රදානය කළේය. සටන් කිරීමට නුසුදුසු අයට අනුකම්පාවෙන් ඔවුන් අස් කළේය.
කඳවුරුවල වාසය කරන සොල්දාදුවන් අතර, වසංගත රෝග හටගැනීම අතීතයේ අසාමාන්‍ය දෙයක් නොවීය. එවැනි රෝග හටගැනීමක් නිසා එහි ප්‍රතිඵල අවදානම් සහිත අවස්ථාවකට පත් වූ බව මහාවංසය සඳහන් කරයි. III වැනි මොග්ගල්ලාන රජු (ක්‍රි.ව. 611 – 617) යුද්ධයෙන් පැරදුන අතර, උණ සෑදුණ බොහෝ දෙනෙක් ඉන්ම මිය ගියහ.
එකල හමුදා වෛද්‍ය කර්මය ඇතුන්ගේ සහ අශ්වයින්ගේ ද සෞඛ්‍යය සමග සැලකිල්ලට ගත යුතු විය. මෙම සත්තු යුද හමුදාවේ වැදගත් අංශයක් බවට පත් වූහ. ඔවුන් රැකබලා ගැනීමට බුද්ධදාස රජු වෛද්‍යවරුන් පත් කළේය.
දුටුගැමුණු රජු (ක්‍රි.පූ. 101 – 77) විජිතපුරයට පහර දුන් විට, එළාර රජු (ක්‍රි.පූ.145 -101) යටතේ සිටි ඔහුගේ සතුරෝ කණ්ඩුල ඇතාගේ පිටට උණු ලෝ දිය වත් කළහ. ඇතා වේදනාවෙන් පසු බැස්සේය. එවිට ඇත් වෛද්‍යවරයා ලෝ දිය සෝදා හැර ඔසු ආලේප ගෑවේය. ඊට පසු ඇතා සටනට ආපසු පැමිණ නගර ද්වාරය බිඳ හෙළීමට සමත් වූයේ ය.
අතීතයේ දී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුව කියාපාන ඡායා රූප කීපයක් මීළඟට දැක්වේ.
මිහින්තලේ රෝහල ගැන සඳහන් සෙල් ලිපියක කොටසක්
අනුරාධපුරයේ කැසිකිළි ගලක්
දීඝවාපී ඛෙහෙත් ඔරුව
ඛෙහෙත් කෙටීමට හාවිතා කළ වංගෙඩි
ඛෙහෙත් අඹරන ලද ගලක්
මී හරක් අං වලින් සාදන ලද ඛෙහෙත් හෙප්පු
ඇත් දළයෙන් නිමවන ලද ඛෙහෙත් හෙප්පුවක්
වස්ති සිරින්ජරයක්
ඛෙහෙත් කැපීමට භාවිතා කළ ගිර
ඛෙහෙත් කිරන ලද තරාදියක්
මේ අනුව පෙනී යන්නේ වර්තමානයේ ශ්‍රී ලංකාවේ වූ වෛද්‍ය කර්මය හා රෝහල් පරිපාලනය පිළිබඳව ඇති සංකල්ප බොහොමයක් අළුත් ඒවා නොව අතීතයේ ද තිබූ බවයි.
වෛද්‍ය ඩබ්.ආර්. කීර්ති රණසිංහ
බී.ඒ.එම්.එස්. (කැළණිය විශ්වවිද්‍යාලය)